ගිහි පැවිදි භේදයකින් තොරව හුඟ දෙනෙක් තමන්ගෙ දහම් දැනුම ලොකු කරගෙන ධර්ම මාන්නයක් හදාගෙන තමන්ගෙ මතයම ජයගන්න උත්සාහ කරන අවස්ථා එදා විතරක් නෙවෙයි අදත් සමාජයේ බහුලවම දකින්න ලැබෙනවා. සමහරු කොච්චර අහංකාරද කියනව නම්, තමන්ගෙ දෙයක් හැර වෙන කෙනෙක්ගෙ දේශනාවක් අහල බලල හෝ පොත පතක් කියවල බලල හෝ ඊට ඇහුම්කන් දෙන ස්වභාවයක් නැති තරම්. වෙන කෙනෙක් කියන කාරණා ඇත්ත වුණත් තමන්ගෙ තියෙන මාන්නය නිසා පිළිගන්නෙ නැති පිරිසක් ඉන්නවා.
ඒ අතින් බලනකොට වහරක හාමුදුරුවො කියන්නෙ, තමන්ට කොච්චර දැනීමක් අවබෝධයක් හැකියාවක් තිබුණත්, අන් අයටත් සාවධානව ඇහුම්කන් දෙන, වෙනත් කෙනෙක්ගෙ පොතක් පතක් වුනත් කියවල බලල ගන්න හරයක් තියෙනව නම් නිසි ගරුත්වයෙන් ඒ ගැන සඳහන් කරල ඒ කාරණා පවා තමන්ගෙත් ලෝකයාගෙත් යහපතට යොදා ගත්ත උත්තමයෙක්. ඒ ගති ගුණ උන්වහන්සේ ළඟ ගිහි වතක පටන්ම තිබුණා. අහුවෙන හැම දහම් පොතපතක්ම කියවල බලල, ගන්න හරයක් තියේනම් ඒ ගැන සඳහන් කරන්න තරම් උන්වහන්සේ නිහතමානී වුණා.
ඒ වගේම තමයි, ඒ හැම කාරණයක්ම නිවනට මාවත සකස් කරගන්න මිසක්, දැනුමෙන් මත් වෙලා වාද කරන්න හෝ තමන් මුදුනා වෙන අදහසක් කිසි විටෙකත් උන්වහන්සේ ළඟ තිබුණෙ නෑ. බොහොම නිරහංකාර ගති ලක්ෂණ තමයි හැමවිටම පෙන්නුම් කළේ. කාගෙ හරි අඩුපාඩුවක් වුනත් පෙන්වා දුන්නෙ, ඒ පුද්ගලයා එක්ක ගැටීමක් තරහවක් නැතිව යහපතක් වෙන විදිහට බොහොම සුහදශීලීව. ඒ බව ඔප්පු වෙන, උන්වහන්සේ විසින් ලියන ලද ලිපියක් අනික් පින්වතුන්ටත් ආදර්ශයක් වෙයි කියල හිතෙන නිසා මේ විදිහට පළ කරනවා. මේ තියෙන්නෙ උන්වහන්සේ ගිහි වතක සිටියදී තවත් භික්ෂූන් වහන්සේ නමකට ලියන ලද ලිපියක්.
ගරු……….. ස්වාමීන් වහන්සේ වෙත,
ස්වාමීන් වහන්ස,
ඔබ වහන්සේ සමග දිනක් මම “මන” පිලිබඳවත් “ශුද්ධාෂ්ටක” පිලිබඳවත් වචන ස්වල්පයක් සාකච්ඡා කළ බව මතක ඇතැයි සිතමි.
ඒ අවස්ථාවේ, අරමුණු මනින අර්ථයෙන් මන කියන බවත්, ශුද්ධාෂ්ඨක වෙන් වෙන්ව ඉවත් කරගත නොහැකි බවත් මා කී බව කරුණාවෙන් මතක් කරන අතර, ඔබ වහන්සේ ඒ අදහස ප්‍රතික්ෂේප කර ඒ අදහස් වැරදි බවද, පෙළ දහම් පොත්වලින් හෝ පිලිගත හැකි පැරණි පොතපතින් අදහස් පෙන්වන ලෙසද මා හට කියන ලදී.
මේ දහම් කොටස් ඉදිරිපත් කරන්නේ වාද කිරීමකට නොව, හරි අරුත තේරුම් ගැනීම මට මෙන්ම මාගෙන් වචනයක් අසා දරා ගන්නා අයට යහපතක්ම වන බව සිතන බැවිනි.
යාගොඩ ධම්මප්‍රභ ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද “සිත සිරුර හා නිවන” යන පොතේ 90 වැනි පිටේ සිත හඳුන්වන ධම්ම සංගණියේ “යං තස්මිං සමයේ 1. මනෝ 2. මානසං 3. හදයං 4. පණ්ඩරං 5. මනෝ මනායතනං 6. මනීන්ද්‍රියන් 7. විඤ්ඤාණං 8. විඤ්ඤාණක්ඛන්ධෝ 9. තජ්ජා මනෝ විඤ්ඤාණ ධාතු, ඉදං තස්මිං සමයේ චිත්තං හෝති” යනුවෙන් නම් 9 ක් දක්වා ඇති බවද කියා ඇත.
එහිම 91 වැනි පිටේ “මනම මානස නම් වේ” යනුවෙන්ද “අප්පමත්ත මානසෝ සෙඛෝ කාලං කයිරා ජනේසුතා” යයි දේශනාවක් ඇති බවද කියා ඇත. “මන කියන්නේ අරමුණු මනිමින් දැන ගන්නා හෙයිනි” කියාද උන්වහන්සේ පෙන්වා ඇත.
එසේම එම පොතේ 33 වන පිටේ “ආරම්මනං මීනමානං වීය ජානාතීති මනෝ අරමුණු මනිමින් මෙන් දැන ගත්තේනුයි මන නම් වේ” යන අර්ථයද පෙන්වා ඇත. මේ ගැනද විමසා බලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
ශුද්ධාෂ්ඨක පිළිබඳවද රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් ලියන ලද අභිධර්ම මාර්ගය නම් පොතේ 248 පිටුවේ “වර්ණ-ගන්ධ-රස- ඕජා යන සතරය, භූත රූප සතරය යන මේ රූප අට ඔවුනොවුන්ගෙන් වෙන් නොවන බැවින් අවිනිබ්භෝග රූප නම් වේ, ඉතිරි රූප විස්ස විනිබ්භෝග රූප නම් වේ” කියා පෙන්වා ඇත.
මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීමට උන් වහන්සේ 255 පිටේ “හාල් පිටි, තිරිඟු පිටි, කුරක්කන් පිටි, බාර්ලි පිටි යන වර්ග හතර ටික ටික ගෙන වතුරෙන් අනා ගුළි කළ විට එක් එක් පිටි වර්ගය ඉන් කොහිදැයි ඇසූ විට අනෙක් පිටි සමග යැයි කියන්නාක් මෙන්” යයි යන්තමටවත් කාරණය තේරුම් යන උපමාවක් පෙන්වා ඇත.
දහම් දැනුමෙන් හසල උගතුන් ලෙස ප්‍රසිද්ධ උන්වහන්සේලා කියන මේ කියමන්ද, පෙන්වා ඇති සූත්‍ර පාඨද විමසා, ඔබ වහන්සේ පෙන්වන අදහසම සත් නම් අනුකම්පා කර ඊට නිදර්ශන ලෙස පෙළ දහම් හෝ අටුවා පොතකින්වත් පෙන්විය හැකි තැනක් මා හට දැන ගැනීමට හඟවන මෙන් යටහත්ව ඉල්ලා සිටිමි.
මීට හිතවත්,
අභයරත්න
ඒ වගේම වහරක හාමුදුරුවො ගිහි වතක ඉන්නකොට, යාගොඩ ධම්මප්‍රභ හිමියන් විසින් ලියන ලද ඉහත කී පොතේ අඩංගු ඒ දහම් කරුණු ගැන තවත් විස්තරයක් මේ විදිහට දින පොතක සටහන් කරල තිබුණා.
එසේම එම පොතේ 91 වැනි පිටේ ”මේ නම් නවය ත්‍රිපිටකයෙහි නොයෙක් තැන යෙදී ඇති බව සැලකිය යුතුය. මනෝ, මානසං, මනෝ මනායතනං යනුවෙන් මන ශබ්දය නැවත නැවත දක්වන ලදී. මන කියන්නේ අරමුණු මනිමින් දැන ගන්නා හෙයිනි. මනම මානස නම් වේ. මානස ශබ්දය එක්ව යෙදෙන ධර්මයන්ටද අප්පමත්ත මානසෝ-සෙඛෝ කාලං කයිරා ජනේසුතා යන දේශනාවේ, අප්පමත්ත මානසෝ යනු, නොපැමිණි මනසක් ඇත්තේ යනුවෙන් නොපැමිණි රහත් මාර්ගය ඇත්තේ යනුයි. සසුනට ඇතුල්වීමේ මහණවීමේ අදහස හෙවත් බලාපොරොත්තුව රහත් වීමය. එයට නොපැමිණි යන තේරුම මෙයින් ගත යුතුය. කෙසේවත් නිවනට මන-මනස… ආදී ශබ්දයක් ව් වහාර නොවේ.”
මේ වැකියද කියවා බලා මන යන්න අරමුණ මනින හෙවත් මැන දැනගන්නා අර්ථයෙන් සැදුනු බව තේරුම් ගත යුතුය.
මනෝ පුබ්බංගමා ධම්මා යන්නට පොත්වල අර්ථ දක්වා ඇත්තේ, සිත චෛත සික ධර්මයන්ට පූර්වංගමයි යනුවෙනි. පූර්වංගම නම් සිත චෛතසිකවලට මුලින් පහළවී තිබිය යුතුයි යනු මගේ හැඟීමයි. එසේ වුවහොත් එහිදී සිත චෛතසිකයන්ට පුරේ ජාත ප්‍රත් යෙන් ප්‍රත් විය යුතුය. නමුත් පට්ඨානයේ කුසලෝ, අකුසලෝ, අභ්‍යාකතෝ ඒකෝ ඛන්ධෝ තින්නංඛන්ධනං සහජාත පච්චයේන පච්චයෝ යනුවෙන් පෙන්වා ඇත.
කුසල්, අකුසල්, අව්‍යාකෘත සියලුම නාම ධර්ම වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කොටස් හතරෙන් එකක් අනෙක් තුනට සහජාතාදී ප්‍රත්‍ය ශක්තීන් ලබාම පහළ වන හෙයින්, මොහොතක් හෝ පෙර පහළ වූ සිතක් නැති බවද, එකට උපදින, එකට පවතින, එකට නැසෙන ස්වභාවය චිත්ත චෛතසිකවල ස්වභාවය බවද දත යුතුය.
එම පොතේ 98 පිටුවේ දේශනා කොටසක්.
“කුසල ප්‍රීතිය පිරෙන්නේ කාය පස්සද්ධීන් – චිත්ත පස්සද්ධීන් පිරේ. පස්සද්ධිය පිරෙන්නේ කායික මානසික සැපය පිරේ.
සුඛං ගබ්භං ගන්හන්තං
තිවිදං සමාධිං පරිපූරෙති
ඛණික සමාධිං
උපචාර සමාධිං
අප්පණා සමාධිං
සැපය පිරෙන්නේ ත්‍රිවිධ සමාධිය පිරේ. එනම් ක්ෂණික, උපචාර, අර්පණා යන සමාධියි. එහි අර්පණා සමාධිය හැර ඉතිරි දෙක මේ කාමාවචර කුසල් සිත්හි වැඩෙති.”
මෙම පොතේම 134 පිටුවේ සම්පජඤ්ඤය හතර කොටසකින් පෙන්වයි.
- සාත්ථක සම්පජඤ්ඤය
ගමන බිමන ආදී ක්‍රියා සාර්ථකද වැඩ සහිතද කියා වටහා දෙන නුවණයි. - සප්පාය සම්පජඤ්ඤය
මේ වෙලාවේ මේ මේ කටයුතු කිරීම සුදුසුද කියා වටහා දෙන නුවණයි. - ගෝචර සම්පජඤ්ඤය
ගෝචර යනු කර්මස්ථානයයි. භාවනාවයි. කර්මස්ථාන ගෝචරයෙහි භාවනාවට ඇතුලත් ක්‍රියා දැයි වටහා දෙන නුවණයි. - අසම්මෝහ සම්පජඤ්ඤය
නාම රූප ධර්ම පිළිබඳ නුමුළා බව ඇති කරන විපස්සනා භාවනාවයි.
මෙම පොතෙහි 139 පිටුවේ මනසිකාරය පිළිබඳව විස්තර ඇත. මනසෙහි කිරීම මනසිකාරයි. විස්තර ඇත.
සටහන
නීතිඥ චන්දන සිරිවර්ධන