අභයරතනාලංකාරය – 01
වහරක අභයරතනාලංකාර හිමියන්ගේ ජීවන ගමන් මගේ තොරතුරු හා අත්දැකීම් වර්තමාන සමාජයට බොහොම වැදගත් වෙන්නෙ හේතු කාරණා ගණනාවක් නිසා. එකක් තමයි, පෙර සසර අත්බැව් ගණනාවක පටන් සසර හුරුවක් වශයෙන් ඇවිත් මේ අත්බවයේ කුඩා කාලයේ පටන්ම තිබුණ සුවිශේෂීය අධ්‍යාත්මික අවබෝධය සහ හැකියාව. ඒ වගේම, සම්මතයේ සිවුරු නොදැරුවත්, ගිහි වතක ඉඳගෙන ගිහි කටයුතුත් දැහැමිව කරන ගමන් අධ්‍යාත්මික ශක්තියෙන් ලෝක සත්වයාට ඉටු කළ අසීමිත සේවය. ඒ සේවය ලෞකික වශයෙන් සමාජයේ යහ පැවැත්මට හේතුවන පැතිකඩවල් ගණනාවක් ඔස්සේ විහිදී ගිහින්, අවසානයේ ලෝක සත්වයාට සදා සැනසීම අත්කර දෙන පරම නිවනටම යොමු කිරීමේ සුවිශේෂීය හැකියාව ඒ සියල්ලටම වඩා අතිශයින්ම වැදගත්.
තමන්ගෙ පරම්පරාවෙන් ලැබුණ අක්කර තුනක පමණ භූමි භාගය ඇතුළු ගිහි කල දේපළ සියල්ලම සාසනයට පූජා කරල, නිවන් උදෙසා ලෝක සත්වයාට දහම් දෙසීමේ අර්ථ චරියාවේ නිරත වුණ උන්වහන්සේගේ මේ අත්දැකීම් කිසිවක් අපතේ දැමිය නොහැකි තරම් වර්තමාන සමාජයට බොහොම වටිනවා. ඒ නිසා ඒ අත්දැකීම් බිඳක් ලෝකයාගේ යහපත පිණිස හෙළිදරව් කරන්න උන්වහන්සේ එකඟ වුණා. මේ තමයි උන්වහන්සේගේ ඒ අත්දැකීම්.
මගේ ආච්චි ඒ කාලෙ කියනවා, පොළොව යට අපායත්, තාරකාවල දිව්‍ය ලෝකත් තියෙනව කියල. පින් කරපු අය දිව්‍ය ලෝකෙ යන බවත්, ඒ පින් ඉවර වුනාම නැවතත් දිව්‍ය ලෝකයෙන් පිට වෙනව කියලත් ආච්චි කිව්වා. එහෙනම් දිව්‍ය ලෝකෙ ගිහින් වැඩක් නෑ කියල මම කිව්වම, ඒ සඳහා සසරින් එතෙර වෙන්න ඕන කියලත්, සසරින් එතෙර වෙන්න නම් පැවිදි වෙන්න ඕන කියලත් ආච්චි කිව්වා. ඒකෙන් මගේ පැවිදි වීමේ ආසාව වැඩි වුනා. මහණ වෙන්න ආසාව මට උපතින්ම තිබුනත් ඒක මුවහත් වුනේ ආච්චි නිසා. මම මහණ වෙනවට ආච්චි කැමති වුණත් දෙමව්පියො කැමති වුණේ නෑ. ඒ නිසා ආගම දහම පැත්තට නැඹුරු වෙලා ගිහි ළමයෙක් විදිහට පාසල් යන්න මට සිද්ධ වුණා.
සත්‍ය අවබෝධ වෙන්න නම් සත්‍යවාදී විය යුතුයි. අසත්‍යවාදීව සත්‍ය අවබෝධ කරගන්න බැරි බව මට වැටහුණා. මම ඒක තේරුම් අරගෙන බුදු දහමේ පර්‌යේෂණාත්මක පැත්ත විශ්ලේෂණය කරන්න උනන්දු වුණා. ඒ සඳහා චිත්ත ඒකාග්‍රතාවය අවශ්‍යයි. ඒ නිසා තමයි භාවනාව ප්‍රගුණ කළේ. අනෙක කුඩා කාලයේ ඉඳලම මගේ ජීවිතයට භාවනාව හුරු පුරුදු වෙලා තිබුණා.
කොහොමහරි කුඩා කාලයේම මගේ බලවත් ඉල්ලීම පිට දෙමව්පියන් විසින්ම වරකාපොල පැත්තෙ පන්සලක මාව මහණ කළා. නමුත් මම බලාපොරොත්තු වෙච්ච දේවල් ලැබුණෙ නැති නිසා දවස් කිහිපයක් විතරයි මහණකමේ හිටියෙ. එතැනින් මගේ අරමුණු ඉටු වෙන්නෙ නෑ කියල පෙනී ගිය නිසා ආපහු ගෙදර ආවා. ඔය විදිහට තවත් පන්සල් කිහිපයකටම මහණ වෙන්න කියල ගියත් ඒ කිසිම තැනක මට සුදුසු වාතාවරණයක් තිබුණෙ නෑ. ඒ එක අවස්ථාවකදි මගේ හිත සසල කළ සිදුවීමක් මතකයි. දවසක් පන්සලට ආගන්තුක හාමුදුරුවො දෙනමක් වැඩියා. ඒ වෙලාවෙ ඒ ස්ථානයේ තිබුණෙ කුඩා මිටි බංකු පුටු දෙකක්. මහා සංඝරත්නය කෙරෙහි තිබුණ අසීමිත ගෞරවය නිසා මම පන්සලේ තිබිච්ච උසම ලොකු පුටු දෙකක් උන්වහන්සේලාට ඉඳගන්න ගෙනත් තිව්වා. උන්වහන්සේලා නැවත වැඩියට පස්සෙ නායක හාමුදුරුවො මට හොඳටම බැන්නා, ඕකුන් අහවල් නිකායෙ අඩු කුලේ අය, ඔය වගේ හොඳ පුටු දෙන්නෙ නෑ, අර පොඩි පුටු තියල තියෙන්නෙ ඒ අයට කියල. ඉතින් මට උන් වහන්සේලා ගැන හුඟක් දුක හිතුනා. ඒත් එක්කම කලකිරීමක් ඇතිවුණා. බුදුහාමුදුරුවො දේශනා කළ දහම මේක නෙවෙයි, මේ තැන්වල ඉඳගෙන හරි දහම ඉගෙන ගන්න බෑ කියල මට තේරුම් ගියා.
ඉතින් මම පුංචි කාලෙ ඉඳලම මේ ධර්මයට ලැදි වෙලා ධර්මය විමර්ශනය කරන කෙනෙක්. මට අවුරුදු හතේ ඉඳලම පැවිදි වෙන්න ආසාව තිබුනා. ඒ කාලෙ කහපාට රෙද්දක් සිවුර වගේ පෙරවගෙන අඹ ගහක් යට භාවනා කළ බවත් මතකයි. මම ඒ කාලෙ ඉඳලම කාගෙවත් උදව් නැතිව තනියම භාවනා කරන්න පුරුදු වුනා. ඉතාම කුඩා කාලෙ පටන්මයි මට මේ උවමනාව ඇති වුණේ. ඒක මොකක්ද කියන්න දන්නෙ නෑ. සමහරවිට සසරේ හේතුවක්, පුරුද්දක් වෙන්න ඇති. මොකද ඒ තරම් කුඩා කාලෙදි දරුවන්ගෙ හිතට එන අදහස් ඔය වගේ දේවල් නෙවෙයි. සෙල්ලමටමයි හිත යන්නෙ. ඒත් මට උවමනාව තිබුණෙ, බුදුන් වහන්සේ දේශණා කළ ධර්මය මොන වගේ දෙයක්ද කියල සොයා බලන්න අවශ්‍යයි කියන කාරණය.
ඒ නිසා මම ඔය වෙනත් අය වගේ නවකතා, කෙටිකතා කියවන්න යොමු වුණේ නෑ. බණ පොත්ම තමයි කියවන්න යොමු වුණේ. උදේ ඉඳං රෑවෙනකල් මම කළේ මගේ පාසල් වැඩත් අතපසු කරගෙන ධර්මය ගැන කියවපු එක. ඒක මට විසාල ආස්වාදයක්, සැනසිල්ලක් වුණා.
මම වහරක පාසලේ හත අට පන්තිවල ඉගෙන ගන්නකොට පුස්තකාලයෙන් අභිධර්මය පොත් අරගෙන කියෙව්වා. ඒවා කියවද්දි මට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වුනා. තරුණ වයසට පත්වුනාට පස්සෙ බුදු දහම ගැන විස්තර කරන ගැඹුරු පොත්පත් පාසල්වලින්, පන්සල්වලින් අරගෙන කියෙව්වා. ඒවා එකක්වත් මට කටපාඩම් කරන්න අවශ්‍යවුනේ නෑ. එක වතාවක් කියවනකොටම වැටහෙන්න ගත්තා, මතක හිටින්න ගත්තා. ඒ නිසා කාගෙන්වත් අහන්න අවශ් වුනෙත් නෑ. ඒවායින් මේ සංසාරය ගැන තව තවත් තේරුම් ගන්න පුළුවන් වුනා.
ඔහොම පටන් ගත්තු ගමන ක්‍රමයෙන් විකාශනය වෙලා ඉදිරියට ගියා. ඊට පස්සෙ මට වැටහුණා, බුදු රජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි ධර්මය සොයා ගත යුතුයි කියල. එදා පටන්ම මගේ උත්සාහය වුණේ අන්න ඒකයි. අවශේෂ භෞතික විෂයන් ගැන මගේ ඒ හැටි උනන්දුවක් තිබුණෙ නෑ. මම ඔය විදිහට භාවනාවටත් යොමු වුණා. ඒ යොමු වෙන්න යෙදුණ විදිහත් හරි අපූරුයි. මම ඉස්කෝලෙ පහේ පන්තියේ වගේ ඉන්න කාලෙ, මට වඩා ඉහළ පන්තියක හිටපු අපේ අයිය කෙනෙක් පොතක තිබුණ කවි පදයක් නිතරම කියනව ඇහුණා. ඒ තමයි,
පිනකින් උතුම් පින නම් භාවනාම ය.
මේක ලෝවැඩ සඟරාවෙ තියෙන කවි පදයක්. ඔන්න මට හිතුණා, එහෙනම් මේ භාවනාව ගැන හොයන්න අවශ්‍යයි කියල. එතැන් පටන් මම ඒ ගැන උනන්දු වුණා. ආනාපානා සති භාවනාව ගැන මම අහල තිබුණා. හුස්ම ඉහළට ගැනීම, පහළ හෙළීම ගැන මම උනන්දු වුණා. මම මේ කියන්න යන්නෙ මගේ අත්දැකීමක් ගැන. නැතුව අමුතු අමුතු දේවල් එහෙම කියනව නෙවෙයි. මොකද පුද්ගලයෙකුට තමන්ගෙ අත්දැකීමක් ගැන කියන්න බාධාවක් නැහැනේ.
අද මම වැඩ ඉන්න මේ පන්සල තියෙන භූමියේම තමයි අපේ පරම්පරා මහ ගෙදර පිහිටල තිබුණෙ. ඉතිං ඒ දවස්වල මම මහ රෑට ගෙදර හැමෝම නිදා ගත්තට පස්සෙ තමයි භාවනා කරන්නෙ. මොකද මම කැමති වුණේ නෑ අනික් කවුරුවත් මේක දැනගන්නවට. ඉතින් ඒ විදිහට හැම දවසකම රාත්‍රී කාලයේ භාවනා කරන්න පුරුදු වුනා. ආනාපානා සති භාවනාවත්, මෛත්‍රී භාවනාවත් කළා.
ඉතිං මම නිදාගෙන ඉන්න ඇඳ උඩ එරමිණිය ගොතාගෙන වාඩි වෙලා භාවනා කරන්න පටන් ගත්තා. මුල් දවස්වල ඒ තරම් අමුත්තක් නොතිබුණාට, දවස් කිහිපයක් ගත වෙන කොට මට පැහැදිලි වෙනසක් දැනුණා. හැබැයි මම ඒ වෙනකොටත් භාවනාව කියන්නෙ මොකක්ද කියලවත් කාගෙන්වත් අහල හෝ දැනගෙන තිබුණෙ නෑ. ඒත් මට එක දවසක් අමුත්තක් දැනෙන්න පටන් ගත්තා. ඒක මට හිතාගන්නත් බැරි විසාල ශාන්තියක්. විසාල පහසුවක්. ආලෝකවත් වායු ධාරාවක් මගේ ශරීරයට ඇතුල්වන විදිහටත් පිටවන විදිහටත් දැනුණා. මගේ මුළු ශරීරයම සැහැල්ලු වෙලා ශරීරය නෑ වගේ දැනුණා. ඒ මානසිකත්වය හරිම ශාන්තයි. ශරීරය සැහැල්ලුයි. හරියට හඳ එළිය වගේ. මීදුම අතරින් සුදු එළියක පාවෙනවා දැනුනා.
මෙන්න මේ විදිහට මම ඉතාම නිදහස් මානසිකත්වයකට ආවා. මගේ මුහුණත මටම තේරෙන්නෙ හඳ එළිය පායලා ඒ මැද පිපුණ මලක් වගේ. මුළු ශරීරයම හොඳටම සැහැල්ලු වෙලා. මුහුණෙ තිබිච්ච හඳ එළිය වගේ ආලෝකය ඊළඟට මුළු ශරීරය පුරාම ගමන් කරන්න පටන් ගත්තා. එතකොට අමුතු හැඟීමක් ආවා. ඒ හැඟීම එනකොට මුළු ශරීරයම රන්වන් පාට ආලෝකයකින් නැහැවිලා ගියා. මට දැන් මගේ භෞතික ශරීරය ගැන කිසිම දැනීමක් නෑ. මේ හැම දේම මම අත්වින්දෙ එකම භාවනා ඉරියව්වක විවිධ අවස්ථාවලදි. ඒ හැම අවස්ථාවකදිම මම ඒ තත්වයෙන් පුදුම සැනසීමක් අත්වින්දා.
එන්න එන්නම මේ තත්වය හොඳින්ම අත්විඳින්න පටන් ගත්තා. අන්තිමට මුළු ශරීරයම එළි කඳක් බවට පත් වුණා. මම ඒ වෙලාවෙ වාඩිවෙලා හිටපු තැන ගැන හෝ මගේ ශරීරය ගැන හෝ මට අදහසක් නෑ. අනන්ත ආකාසයක් විතරයි පේන්නෙ. ඒ ආකාසය මැද මේ එළි කඳ තියෙනවා. හරිම නිශ්චලයි. හරිම ශාන්තයි. නිවීසැනසිල්ලෙ හිතන්න පුළුවන්. ඒත් අර කලින් තිබුණ භෞතික ශරීරය ගැන ඒ විදිහෙ හැඟීමක් ඇත්තෙ නෑ. ඒ ගැන විපරම් කරන්න, වටපිට බලන්න අවශ් තාවයක් නෑ. උඩ බලනවා, පහත බලනවා, දකුණ බලනවා, වම බලනවා කියල දෙයක් නෑ. මේ සියලු පැති එකවර පේනවා. අන්න ඒකයි විශේෂත්වය. උඩ යට වට හැම තැනම සියල්ල එකට එකවරම පේනවා. ඒක ඒ මනස පත්වුණ තත්වයේ සොබාවය. ඒ වගේම මගේ අත්දැකීමක් මම මේ කියන්නෙ. මම මේ දේවල් කියන්නෙ කිසිම විශේෂත්වයක් ආරෝපණය කර ගන්න නෙවෙයි. මම අත්විඳපු දේ මම ඔබට කියනවා, එච්චරයි.
දැන් මම හිතනවා, මේ මොකක්ද? මේකද සත්‍ය? මේක හැඟීමක්ද? මේක මොන වගේ තත්වයක්ද? ප්‍රශ්නාර්ථයක් දැන් තියෙනවා. ඒ මොහොතෙම ප්‍රශ්නයට පිළිතුරක් වැටහුණා, ඒ කියන්නෙ ප්‍රභාෂ්වරත්වයේ ආලෝකය කියල. මොකක්ද මේ ප්‍රභාෂ්වරත්වයේ ආලෝකය කියන්නෙ? මේකද සත්‍ය? මේකද ඇත්ත? ඔන්න ඔය ප්‍රශ්නය තමයි මට ඉතුරු වුණේ.
හැබැයි මට වැටහුණා, මේ සත්‍ය නෙවෙයි කියල. අනන්ත ආකාසයක තිබුණ ශක්ති විශේෂයක් එකට ඇදිල ගුලි වෙලා නිර්මාණය වෙච්ච අවස්ථාවක් තමයි මම අර අත්වින්දෙ. මේක හේතුවක ඵලයක්. උත්සාහ කිරීම්, වීර්ය කිරීම් නිසා ගොඩනැගුණ ඵලයක් තමයි මේ.
ඇත්ත වශයෙන්ම මට මේ දේවල් ගැන කලින් කවුරුවත්ම කියල දීල තිබුණෙ නෑ. ඒ නිසා ඒ ඒ අවස්ථාවලදි ඒ මොන විදිහෙ තත්වයක්ද කියල මම දැනගෙන හිටියෙ නෑ. ඒත් පහුකාලෙදි පොත්පත් කියවල තමයි ඒ දේවල් මොන මොනවද කියල නාමිකව දැනගත්තෙ.
මේ දැකපු ප්‍රභාෂ්වරත්වයේ ආලෝකය උත්සාහයෙන් වීර්‌යෙන් ගොඩනැගුන හේතු ඵලයක් බවත්, උඩ යට වට අප්‍රමාණ නිදහසක් විදිහට වැටහෙන ආකාසය බොහෝ නිදහස් සුවයක් බවත් වැටහී ගියා. සුළු මොහොතකින් ප්‍රභාෂ්වර ආලෝක පුංජය (ප්‍රමාණයෙන් අඩි 6 ක් පමණ උස සාමාන් මනුස්සයෙක්ගෙ මහත තරම් වන ටියුබ් ලයිට් වර්ණයෙන් යුතු එළි කඳක්.) අතුරුදන් වෙලා “මම” යන හැඟීමට අනන්ත ආකාසයක් වුණා. දැන් උඩ යට වට කියල මිම්මක් හෝ කෙළවරක් හෝ පේන්නෙ නැති ඉතා නිදහස් ස්වභාවයක මානසික පිහිටීමක් අති නිශ්චලව දැනෙන්න වුණා.
නැවතත්, මේ කෙබන්දක්ද, මේකද ඇත්ත කියල සංඥාවක් පහළ වුණා. ඒත් සමගම පිළිතුරු විදිහට, මේ සත්‍ය නෙවෙයි හේතුවක ඵලයක් කියල වැටහුණා. මානසික අනන්ත දැනීමක් මීදුමක් වගේ අනන්ත ආකාසයක් බදාගෙන සිටින ආකාරයක් වැටහුණා. ඒ ආකාසය අත්හැරල නිදහස් වෙන්න පුළුවන් බවකුත් වැටහුණා. ඒත් සමගම ආකාසයෙන් නිදහස් වෙලා මීදුම් වළාවක් වගේ තිබිච්ච ආකාසය නොදැනී යමින්, ඉතා ශාන්ත, වර්ණයක් කියන්න බැරි පැහැපත් අනන්ත දැනීමක් පෙර තිබිච්ච ආකාස ස්වභාවය තියෙන අනන්තයේම පිහිටල අති නිශ්චලව තියෙන බව වැටහුණා. ඒක ආකාසයට වඩා ඉතාම ශාන්තයි.
නැවතත්, මේකද ඇත්ත, මේකද සත්‍ය කියල අදහසක් ආවා. ඒත් සමගම මේ දැනීම, උත්සාහයේ වීර්‌යේ ප්‍රතිඵලයක් විදිහට ගොඩනැගෙන හේතු ඵලයක් බව වැටහුණා. මේ උත්සාහය වීර්ය අත්හැරල නිදහස් වීම කොච්චර ශාන්තද ප්‍රණීතද කියල වැටහුණා. ඒත් එක්කම උත්සාහය, වීර්ය අත්හැරිල මහා නිදහසක සුවය දැනෙමින්, මුං ඇටයක් තරම් දැනීම් බිඳක් බවට පත්වුණා. දැන් ලෝකයක් කියල මානසික ගෝචර කිසිවක් නැති, දැනීම් බිඳකින් පිටස්තර කිසිවක් දැනෙන්නෙ නැති තත්වයකට පත්වුණා.
නමුත් එතැනත් හිතන්න පුළුවන් තැනක්. මේ කෙබඳු තත්වයක්ද, මේ මොකක්ද කියන අදහසක් මතුවුණා. ඒත් එක්කම, මේ හේතු ඵලයක්, මානසික ප්‍රසාරණ මිම්මක් විදිහට වැටහුණා. එතැනත් නිරන්තරයෙන් කෙරෙන උත්සාහයක්, වීර්යක් තියෙන බව වැටහුණා. ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් බවත්, ඒක විසාල සහනයක් බවත් වැටහුණා.
ඒත් එක්කම දැනීම් බිඳ කුඩා වෙන්න පටන් ගත්තා. ඊළඟට අබ ඇටයක් තරම් වුණා. ඊට පස්සෙ ඉඳි කටු තුඩක් තරම් වුණා. තවත් සූක්ෂම වෙලා දැනීම කෙළවර වෙන්න ආවා. එතකොට ජීවිතය ඉවරයි කියන හැඟීමත්, මියයයි කියන අදහසත් නැගිල, නැවතත් දැනීම ප්‍රසාරණය කරන්න උත්සාහ මාත්‍රයක්, වීර්ය මාත්‍රයක් ගොඩනැගුවා. එතකොට දැනීම මුං ඇටයක් තරමට ප්‍රසාරණය වුණා. නමුත් ඒකත් පැවතුනේ නෑ. නැවතත් පෙර පරිදිම ගෙවිල ගියා. නැවත ජීවිතාසාව ගොඩනැගුවා. මේ ක්‍රියාවලිය මේ විදිහට සිද්ධ වෙනකොට හිත කියන්නෙ, උත්සාහයේ වීර්‌යේ ක්‍රියා ඵලයක් බවත්, දැනීම් මාත්‍රය ගෙවෙන්නෙ කිසිම හරයක් ඉතුරු නොකර බවත්, ජීවත් වීම කියන්නෙ හරයක් නැති වෙහෙසක් බවත් අවබෝධ වුණා. ඒත් සමගම, වෙන දෙයක් වුණාවෙ කියල උත්සාහය වීර්ය අත්හැරල නිහඬ වුණා. දැනීම් බිඳ නිවිල ගියා.
කොච්චර වෙලාවක් එහෙම තිබුණද කියල දැනෙන්නෙ නැතිව, නැවතත් ඉතා අංශූමාත්‍ර වූ දැනීම් මාත්‍රයක් තියෙන බව වැටහුණා. සියළු උත්සාහයන් වීර්යන් අත්හැරල, ලෝකයෙන් මිදීම සියළු දුකේ කෙළවර බවට අත්දැකීමක් ලැබුවා. සමාධියෙන් සත් ය හොයාගෙන ගිහින් ලැබූ සත් නිදහස ලෝකයෙන් එතෙර බව වැටහුණා. හොයපු දේ හම්බ වුණා. දැන් කළ යුතු දෙයක්, ඉන් එහාට යා යුතු නිවන් සුවයක් තවත් නැති බව සියුම්ව වැටහුණා. ඊට පස්සෙ ගිය විදිහටම ආපසු එන්න පටන් ගත්තා.
ගොඩනගන, ගෙවී යන විදිහට පෙර අත්දැකපු අවස්ථාව ආවර්ජනය කළා, එතැනට ආවා. මුං ඇටයක් තරම් දැනීම් බිඳ ඊළඟට ආවර්ජනය කළා, එතැනට ආවා. අනන්ත ආකාසය ආවර්ජනය කළා. මනස අනන්තයට ප්‍රසාරණය වුණා. මීදුමක් වගේ ආකාසය ආවර්ජනය කළා. මහා රළු ස්වභාවයක් මනසින් බදනවා වගේ ආකාසයට බැඳුණා. එළි කඳ ආවර්ජනය කළා. අහස මැද කලින් විදිහටම එළි කඳක් බවට පත්වුණා. අඟපසඟ සහිත ආලෝක සිරුර ආවර්ජනය කළා, ඒ තත්වයට පත්වුණා. වායුමය කයක්, හඳ එළිය වැටිල පිපුණ මලක් වගේ මුහුණ ආවර්ජනය කළා. ඒ තත්ත්වයට පත්වුණා. සැහැල්ලු වායුමය කය, ආලෝක මිශ්‍ර ආස්වාස ප්‍රාස්වාස වෙච්ච ආකාරය සිහි කළා. ඒ ස්වභාවය වැටහුණා. භාවනා ඉරියව්ව වැටහුණා. ඉන්න තැන ස්පර්ශය සිහි කළා. උඩ ඉඳන් බිමට පහත් වෙලා යමක පිහිටපු විදිහට වැටහුණා. නමුත් කාමරයේ ඉන්න බව වැටහෙන්නෙ නැති නිසා, බිත්ති ඔරලෝසුවේ “ටක් ටක්” කියන හඬ නාද වෙච්ච හැටි සිහි කළා. ඊළඟට කාමරයේ ඉන්න බව වැටහෙමින් ඔරලෝසුවේ “ටක් ටක්” කියන හඬ ඇහෙන්න වුණා.
උකුළෙ තියෙන අත නැවතත් සිහි කරන කොට අත හෙමින් උඩට ඉස්සුනා. එතකොටම බර ශරීරය සහිත කායික දැනීම ඇති වුණා. දැහැනින් ඉවත් වෙලා තියෙන බව වැටහුණා. වෙලාව බලන කොට පාන්දර 3.30 වෙලා තිබුණා. රෑ දහයෙ පටන් පාන්දර 3 පහු වෙලා විනාඩි 30 යි. පැය පහ හමාරක් වෙලාව ගියත්, මට දැනුණෙ පැය කාලක් පමණ භාවනාවේ අත්දැකීම් ලබමින් හිටිය වගේ. මේ විදිහට භාවනාවේ උපරිම තලයට මම ළඟා වුනා. මට විමුක්තිය දැනුනා. ඒ පැය 5ක පමණ කාලය තුළ මම චේතෝ විමුක්තියේ පළමු අත්දැකීම ලැබුවා. මම මේ ගැන කියන්නෙ, උත්තරීතර මනුස්ස ධර්ම හඟවල කිසිම ලාභයක් ප්‍රසංසාවක් ලබන්න නෙවෙයි, තවත් කෙනෙකුට විවිධ අදහස් දීල මුලාවට පත් කරන්න උත්සාහ දරපු පිරිසකගෙන් සිද්ධ වෙන්න ගිය විනාසය මගහරවා දෙන්න තමයි මේ කාරණා හෙළිදරව් කළේ.
සටහන
නීතිඥ චන්දන සිරිවර්ධන