අභයරතනාලංකාරය – 02
භාවනාව සම්බන්ධයෙන් කිසිම ගුරුවරයෙක් නැතිව, මග පෙන්වීමක් නැතිව මම ලබපු අත්දැකීම් කිහිපයක් තමයි පසුගිය කලාපයෙන් විස්තර කළේ. පෙර සසරේ හේතු වාසනා තිබුණ නම්, ඒ වගේ අයට ගුරුවරු හෝ වෙන යම් කෙනෙක් හෝ මග පෙන්වන්න හෝ කියා දීමක් හෝ කරන්න අවශ් නැති බව පහුකාලෙකදි මට වැටහුණා. ඉතාම සුළු නිමිත්තක් වුනත් ඒ වගේ කෙනෙකුට සෑහෙනවා.
ඉතින් මේ දේවල් මම කාට කියන්නද? කාට හෝ කියල මේකෙන් ඇති වැඩක් තියෙයිද? එදා මට ඒ ගැන ඔහොම තමයි හිතුනෙ. ඒත් මට අදහසක් තිබුණා, මම කවද හරි මහණදම් පුරන්න ඕන කියල, මහණදම් පුරල මේ තත්වය සම්පූර්ණ කර ගන්න උවමනායි කියල.
ඉතිං ඒ නිසා තමයි මම ඒ කාලෙ ඉඳන්ම මහණ වෙන්න ඕන කිය කියා ඉඳල තියෙන්නෙ. ඒ කුඩා කාලෙ මම එහෙම කිව්වෙ ඒ ගැන යමක් හරි හැටි දැනගෙන නෙවෙයි. ඒත් දැන් මම මේක කියන්නෙ මේ තත්වය ගැන හොඳින්ම දැනගෙන. එතකොට මම පාසලේ අටවෙනි පන්තියේ විතර ඇති.
අම්මයි තාත්තයි මං ගැන බය වුණා කියලයි මට හිතෙන්නෙ. මොකද ඒ අය නැති කාලෙක මම ඔය කොහේ හරි කැළේක තාපසයෙක් වෙලා ඉඳීවි කියල. ඉතිං එහෙම හිතල ඒ අය මාව ගිහිං ඇරලුවා, ඉඳුරානේ සීලානන්ද හිමි කියන සතර කෝරළ මහදිසාවේ අධිකරණ සංඝනායක හාමුදුරුවන් වැඩහිටපු කෝන්ගොඩ කියන පන්සලට. ඊට පස්සෙ මම එහේ නැවතිලා හිටියෙ මහණ වෙන්න.
ඒත් මම අර මගේ වයසෙ අනික් ළමයි වගේ සෙල්ලමට ගියේ නෑ. පන්සලේ ගෙනත් තිබුණ රසවාහිනී කියන සඟරා තමයි ඒ දවස්වල මම ආසාවෙන් කියෙව්වෙ. මම දිගටම ඔය කියවීමේ යෙදිල ඉන්නව දකින ලොකු හාමුදුරුවො කියනවා, හා…. හා… ඔය විදිහට හිටිය ඇති, දැන් ඉතිං මෙතන තියෙන කටයුතුවල තමුන් යෙදෙන්න උවමනායි කියල. ආපිටම අහනවා, කම්මැලි නැත්ද දිගටම ඔතන ඉඳගෙන ඔය පොත් කියව කියවා ඉන්න කියල. ලොකු හාමුදුරුවො එහෙම කිව්වම මම හරි බයයි. විගහට නැගිටල ගිහින් අතුපතු ගාල ඒ වැඩ කටයුතුවල යෙදෙනවා.
හය මාසයක් යනකල් බුද්ධ ගජ්ජය, නාමාෂ්ඨ ශතකය, සාමණේර බණ දහම් පොත වගේ ඒවා කට පාඩම් කළත්, මම හොයපු දේ එතැන තිබුණෙ නෑ. ඔන්න ඔහොම ඉඳල මහණ වෙන්න දවස් කීපයක් තියෙද්දි අපේ ගම් පැත්තෙන් ලොකු හාමුදුරුවන්ට දානෙකට ආරාධනාවක් ආවා. හාමුදුරුවො මේ ගමනට මාවත් එකතු කර ගත්තා. අන්තිමට ඒ ගමනින් ගමට ආපු මම, ගෙවල් පැත්තට ඇවිත් ආයෙත් නම් මම එහේ යන්නෙ නෑ කියල එහෙම්මම නැවතුණා. ඊට පස්සෙ ආයෙත් පාසල් ගියා. පූර්ව ජ්‍යෙෂ්ඨෙ, ජ්‍යෙෂ්ඨෙ කළා. නමුත් මගේ හිතේ තිබුණ දේ තමයි මම කවද හරි මේ පැවිද්දට යා යුතුමයි කියන අදහස.
මම ගියපු පාසල ඒ කාලෙ හැඳින්නුවේ වහරක බොදු මුසු පාසල කියල. අපි පාසල් යන කාලෙ අටේ පන්තිය සමත් වුනාට පස්සෙ ඊළඟට තිබුනෙ පෙර දෙටු පෙළ කියන පන්තිය. පාසල් පුස්තකාලයේ පොත් ලබාදෙන්නෙ ඒ පන්තියේ පටන් ඉහළට. මම අටේ පන්තියේ හිටපු අවසාන කාලෙ පුස්තකාලයට ගිහින් වටිනා පොතක් ගැන බලන කොට “අභිධර්මය” කියල පොතක් තියෙනව දැක්කා. පෙර දෙටු පෙළට සමත්වුන ගමන් අනික් ළමයි විවිධ පොත් ගත්තා. මම පුස්තකාල භාර ගුරුතුමාගෙන් ඉල්ලුවේ අර අභිධර්මය කියන පොත. ගුරුතුමා හිනාවෙලා මගෙන් මෙහෙම ඇහුවා. “මෙච්චර පොත් තියෙද්දි කවුරුවත් මෙච්චර කාලෙකට අරගෙන නැති අභිධර්මය පොත ඔයාට මොකටද? ඕවා තේරුම් ගන්න සාමාන්‍ය අයට බෑ. ඕවා බලන්නෙ ලොකු හාමුදුරුවරුනේ! ඕවා බලල තනියෙන් තේරුම් ගන්නෙ කොහොමද?” මම කිව්වා, බැරිද පුළුවන්ද කියල දැන ගන්න නිකමට හරි බලන්න අවශ්‍යයි කියල. ගුරුතුමා හිනාවෙලා ඒ පොත දුන්නා.
මම පොත අරගෙන ගෙදර ආපු වෙලාවෙ ඉඳන් මුල පටන් අගට උඩින් මත්තෙන් බලාගෙන ගියා. මටම පුදුමයි! හිත ගැන, හිතේ හටගන්න චෛතසික ගැන, රූප ගැන වෙන් වෙන්ව ඒකෙ විස්තර කරල තිබුණා. බොහෝ කාලයකට පෙර අධ්‍යයනය කරල තිබිච්ච දෙයක් නැවත සිහිවෙනව වගේ සිත් 89 කුත්, විස්තර වශයෙන් 121 කුත්, ඒ සිත්වල යෙදෙන චෛතසික 52 කුත්, රූප කොටස් 28 කුත් පිළිබඳව තිබිච්ච විග්‍රහය ඉතා හොඳට තේරුම් ගන්න පුළුවන් වුනා. සති දෙකකින් නැවත අත්සන් කරල ඒ පොතම නැවතත් බලන්න අරගත්තා. ගුරුතුමා ඇහුවා ඇයි වටහ ගන්න පුළුවන් වුනාද කියල. මම සුළු වශයෙන් අභිධර්ම විග්‍රහයක් කළා. ඒ ටික අහගෙන හිටපු ගුරුතුමා පුදුම වුනා. ඔයාට නම් සසර පුරුද්දක් ඇති, නැත්නම් මෙහෙම විග්‍රහ කරන්න බෑ කියල කිව්වා.
මේ විස්තර කියන කොට මම පහේ පන්තියේ ඉන්න කාලෙ සිද්ධ වෙච්ච තවත් සිද්ධියක් මතක් වෙනවා. දවසක් අපට උගන්වන ගුරුවරු දෙන්නෙක්ගෙ නොපැමිණීම නිසා පැය 2 ක විතර කාලයක් ළමයි නිදහසේ තමන්ට අවශ්‍ය විදිහට විවිධාකාරයේ අල්ලාප සල්ලාපවල යෙදිල හිටියා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත මම, බුද්ධ චරිතයේ එන ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම කියන කරුණු කාරණා අඩංගු කුඩා පොතක් මුල පටන් බලන්න ගත්තා. ඒ අවස්ථාවෙ මට, මම ඉන්නෙ පාසැලේද කියලවත් වැටහෙන්නෙ නැතිව ගියා. දන්නෙම නැතිව පැය 2 ක්ම ගෙවිල ගියා. නමුත් මට පැය කාලක් ගියාද කියලවත් වැටහුණේ නෑ.
මම ඒ වෙලාවෙ කියවමින් හිටියෙ බුදු පියාණන් වහන්සේගෙ පිරිනිවන් පෑම ගැන තියෙන කොටස. මගේ ඇස්වලින් කඳුළු බිංදු කම්මුල දිගේ හූරගෙන හැලෙනවා. පන්ති භාර ගුරුතුමා පන්තියට ඇවිත් තියෙන්නෙ ඒ වෙලාවෙ. එදා තිබුණ සිරිත තමයි ඔක්කොම ළමයි නැගිටල ආයිබෝං කියල ගුරුතුමාට ආචාර කරන එක. ආයුබෝවන් කියන එකට තමයි ළමයි එහෙම කියන්නෙ. හැබැයි ඒ සිදුවෙච්ච කිසිම දෙයක් මට මතක නෑ. හිටිගමන් මගේ ඔළුවට මොකක්දෝ ටක් ගාල වැදෙනව දැනුනා. මම එක පාරටම ගැස්සිලා ඉස්සරහ බැලුවා. ළමයි ඔක්කොම මට හිනාවෙනවා. ගුරුතුමා මට හුණු කැට කෑල්ලකින් තමයි ගහල තිබුණෙ. දැන් මගේ ඇස්වල කඳුළු පිරිල කම්මුල් දිගේ තවම ගලනවා. ගුරුතුමා මගෙන් ඇහුවා ඇයි අඬන්නෙ කියල. මට හරියට ලැජ්ජ හිතුනා. මෙහාට ගේනව ඔය බලපු පොත කියල ගුරුතුමා කියන කොටම, මම පෙරලල තිබිච්ච පිටුවත් එක්කම පොත ගුරුතුමාට දුන්නා. වෙන දවසකනම් නොසැලකිලිමත්කමට දඬුවමක් විදිහට කෝටු පාරවල් දෙකක් හම්බෙනවා. ඒත් ගුරුතුමා මගේ මූණ දිහාත් පොත දිහාත් දෙතුන් පාරක් බලල, ගිහින් වාඩිවෙන්න කිව්වා. ඊට පස්සෙ වරදකටවත් ගහපු දවසක් මතක නෑ.
ඊට පෙර තවත් දවසක ගණන් හදාගෙන ආපු නැති වරදකට අහුවුනා. එදා ළමයි කෑගහල ගුරුතුමාට කිව්වා, මහත්තය ඔයාට නම් ගහල අඬවන්න බෑ කියල. අද මම අඬවන්නම් කියල අඩි කෝදු දාරෙන් අල්ලට පහක් හයක් විතර ගැහුවා. අල්ල රතුවෙලා පුපුරන ගානට ආවා. පිටි අල්ල හරවල තවත් දෙකක් ගැහුවා. ඒ වේදනාව නම් හුඟක් දැනුනා. ඒත් අඬවන්න බැරි වුනා. යනව ගිහින් වාඩිවෙනව කියල ගුරුතුමා සැර කළා. මම රතු වෙච්ච අල්ල දිහා බලාගෙන ගිහින් වාඩි වුනා. ළමයි බයවෙලා වගේ නිහඬ වුනා. එක ළමයෙක් “අනේ පව්” කියනව ඇහුනා. කෙනෙකුට විපතක් වුනාම දුක හිතෙන අයත් එක්කෙනෙක් හරි ඉන්නවනෙ කියල ක්‍ෂණිකව අදහසක් එනවත් එක්කම, මගේ ඇස්වලින් මොර ගෙඩි වගේ කඳුළු කැට කිහිපයක් වැටුණා. සුසුමක් හෙලල මම නිහඬ වුනා. මේවා කියන්නෙ දුක් කරදරවලදි ඉවසීමේ හැකියාව කුඩා කාලෙ පටන් තිබිච්ච හැටි පෙන්වන්න.
ඔහොම ඉඳෙද්දි පාසල් කාලය ගෙවිල ගියා. අවුරුදු 18 ලැබුව විතරයි, තුල්හිරියෙ පෙහෙ කම්හලේ ඉංජිනේරු සංස්ථාවෙ සේවයට යන්න අවස්ථාවක් ලැබුණා. ඒ කාලෙ ගුප්ත ලෝකය ගැන, අමනුස්ස, දේව කොටස් ගැන පරීක්ෂණ කරන්න මගේ හිත නිතර ඇදිල ගියා. මේවා නැහැයි කියන අය මොන මොන හේතු උඩද එහෙම කියන්නෙ කියන කාරණය ගැන නිතර විමර්ශනය කළා. භූත, ප්‍රේත, අපාය, දේව… ආදී ලෝක ගැන සැකයක් නොතිබුණත්, ඒවා තියෙන බවට සැක හැරෙන හේතු විමසීම බොහෝ දෙනෙකුට හිතසුව පිණිස හේතු වෙන බව වටහාගෙන හිටපු නිසා, ඒ කාලෙ කරුණු විමසුවේ ඊට විරුද්ධ පාක්‍ෂිකයෙක් හෙවත් භෞතිකවාදියෙක් විදිහට රඟපාමින්.
මේ කාලෙ ගිනි පෑගීම පිළිබඳව ඒ් බ්‍රහම් ටී කොවුර්, කාලෝ ෆොන්සේකා කියන මහත්වරු මූලික කරගෙන ලොකු ආන්දෝලනයක් ඇති වුනා. මාත් එක්ක වැඩ කරපු අනික් සේවක පිරිසගෙන් ඒ අභියෝගය මටත් එල්ල වුනා. භෞතිකවාදී අදහස් අනුමත කරනව නම්, මන්ත්‍ර ආදී බලයකින් තොරව ගිනි පාගල පෙන්වන්න කියන අභියෝගයත් මට එල්ල වුණා. ඊට සුදුසු පරිසරයකුත් වැඩපොළේ සකස් වෙලා තිබුණා. බදාම මිශ්‍රණයක් හදන්න යොදාගන්න අඩි හතරක් පළල, අඩි දහයක් විතර දිග, අඟල් කාලක් විතර ඝනකම යකඩ තහඩුවක් ගිනියම් වෙන්න රත්කරල තමයි ඒක උඩ වැලි රත් කරන්නෙ. ඒ යකඩ තහඩුව ගිනියම් වුනාම, ඒක උඩින් ගමන් කරන්න තමයි මට කරපු අභියෝගය. තත්පර දෙකක් වගේ කාලයකට වැඩියෙන් එක තැන හිටියොත් පතුලෙ හම පිච්චෙන බව මම අහල තිබුණා. දෙවනි දවසෙ මේ තහඩුව පාගගෙන ඒක උඩින් ගමන් කරන්න මම ඒ පිරිසට පොරොන්දු වුනා. එදා තහඩුව රත් වෙන්න ගින්දර දමල ආරම්භ කරපු තැන් පටන් පියවර අටකින් තහඩුව පාගගෙන ඒ මේ අතට ගියා. කොච්චර ගින්නෙන් රත් වුනත් නොපිච්චී යන්න පුළුවන් බව මට වැටහුනා. දැන් වැලි දමල රත්කරල වැලි ඉවත් කළාම තහඩුව රතු පාටට ගිනියම් වෙලා පේනවා. පියවර අටකින් තහඩුව හරහා ගිහින් අභියෝගය ජය ගත්තා.
මේකට කිසිම මන්ත්‍ර බලයක් අනවශ්‍ය බව කරුණු සහිතව කිව්වත්, තවත් එක්කෙනෙක් හැර අනික් අය ඒක උඩින් යන්න බය වුනා. මේක දැකපු ජර්මන් ජාතික නිලධාරීන් පිරිසක් ඡායාරූප ගන්න සැරසුනා. වැඩපොළේ ප්‍රධාන නිලධාරීතුමා (ආර්. ඒ. මහත්තයා) මේ කටයුත්ත දැකල අපිට අවවාද කරල මීට පස්සෙ ඒ වගේ වැඩ, වැඩපොළ ඇතුළෙ කරන්න එපා කියල, ඒක සේවයෙන් පහකරන්න තරම් බලවත් වරදක් බව කියපු නිසා ඊට පස්සෙ ඒ වගේ දේවල් කළේ නෑ. මේ කරුණු මේ විදිහට කියන්නෙ, විමසුම් නුවණින් යථා තත්වය නොදැක යමක් පිළිගන්න මම සූදානම් වුනේ නෑ කියන කාරණය පෙන්වන්න.
දෙවියන් පිළිබඳව ධර්මානුකූල කරුණු ගැන අවිස්වාසයක් නොතිබුණත්, යමක් ලෝකයට කිව යුත්තේ හේතු සාධක අත්දැකීම් සහිතවම නිසා, ඒ කරුණු හොයාගන්න මම පෙනී හිටියෙ භෞතිකවාදී අදහස් තියෙන කෙනෙක් විදිහට. මාත් එක්ක මේ ගැන කතා කරන පිරිසට මම කිව්වෙ, හේතු සාධක ඇතිව ඒ ගැන කරුණු ඔප්පු කරල පෙන්වන්න කියල.
මාත් එක්ක සේවය කරපු පිරිසගෙන් ඊළඟට එල්ල වෙච්ච අභියෝගය තමයි, සිරිපාද වන්දනාවෙ ගිහින් සමන් දෙවියන්ට අභියෝග කරන එක. දැන් ගමන යන්න හැමෝම සූදානම්. හේතු දකින කල් එබඳු දෙවි කෙනෙක් ගැන නිගමනයක් කරන්නෙ නෑ කියලත්, වන්දනා කරල නැවත බහින්න පෙර දෙවියන්ට පුළුවන් නම් විශේෂ යමක් සිද්ධ කරල අන් අයගේ කීම හෙවත් පිළිගැනීම ඔප්පු කරන්න කියලත් මම කිව්වා. මම කවදාවත් ඒ වෙන කොට සිරිපාද වන්දනාවෙ ගිහින් තිබුණෙ නෑ. ඒ නිසා කෝඩුකාරයෙක්. ඒ වගේ කෝඩුකාරයින් සඳහා විශේෂ පිළිවෙත් මාලාවක් ඒ ස්ථානය බාර කපු මහත්තයෙක් විසින් සිද්ධ කරනවා. මමත් මීට පෙර සිරිපාද වන්දනාවෙ ගියපු කෙනෙක් විදිහට යන බවත්, සමන් දෙවියන් කියල කෙනෙක් ඉන්නව නම් ඒ බලය පෙන්වල ඔප්පු කරන්න කියලත් මම අපේ පිරිසට කිව්වා.
ඒ ප්‍රකාශය සමනල සිරිපා වඳින්න ආරම්භ කරන කඳු පාමුලදිත් කියල ගමන ආරම්භ කළා. අනික් පිරිස මාත් එක්ක යන්න බය වෙලා මාව තනි කරල වෙන් වුනා. මමත් හිනා වෙවී සිරිපාද කන්ද මුදුනටම ගියා. එතැනදි පිරිස නැවතත් හමුවුනා. මෙතෙක් වෙලාවක් නම් මට කිසිම බාධකයක් හෝ විශේෂයක් හෝ අත්දකින්න ලැබුණෙ නැති බවත්, බහින අතරවත් එබන්දක් පෙන්වන්න සමන් දෙවියන්ට අභියෝග කරන බවත් පිරිස ඉදිරියේ මම කිව්වා. තව දුරටත් බය වෙච්ච පිරිස, මම බහින්නත් පෙරාතුවම බැහැල ගියා. මට කිසි ගාණක් හෝ වෙහෙසක් නෑ. නමුත් ටික දුරක් බැහැගෙන යන කොට බඩ බුරුල් වෙලා වේදනා සහගත කැක්කුමකුත්, වැසිකිලි යාමේ විශේෂ අවශ්‍යතාවයකුත් මතු වුනා. ඒක එච්චර ගණන් ගත්තෙ නැති මම, පාරෙ පැත්තක වැසිකිලියක් තියෙනව දැකල ඉක්මනින් ඒකට ගියා. හෝදගන්න වතුර බාල්දියකුත් පිරිල තිබුණා. කරාම සහිත වතුර බට තිබුණත් ඒවායේ වතුර තිබුණෙ නෑ. නමුත් තිබුණ වතුර ටික මට සෑහුනා.
ඊට පස්සෙ, මේක ස්වභාවික දෙයක්, මේ වගේ දෙයක් දේව බලයක් කියල කොහොමටවත් පිළිගන්නෙ නෑ කියල හිතල, තවත් බඹ විස්සක් විතර බහින කොට කලින් තිබිච්ච වේදනාව වගේ හතර පස් ගුණයකින් වැඩි කැක්කුමක් සහිතව වැසිකිලි යාමේ අවශ්‍යතාවය නැවතත් මතු වුණා. පුදුමය කියන්නෙ කලින් වගේම වැසිකිලියකුත්, වතුර පිරිච්ච බාල්දියකුත් එතැන තිබුණා. ඒකත් සාමාන් සිද්ධියක් විදිහට තමයි හිතුවෙ. හැබැයි නැවත බඹ විස්සක්වත් යන්න ලැබුනෙ නෑ. ඇඳන් හිටපු කලිසම බේර ගත්තෙත් අනූනවයෙන්. ඒත් කලින් වගේම වැසිකිලියක් එක්ක වතුරත් හමුවුනා. මේ විදිහට සමනල කන්ද බහින කොට හය පොළක විතර මේ සිදුවීම මේ විදිහටම සිද්ධ වුනා. දැන් මේ සිදුවෙච්ච කිසිම දෙයක් මාත් එක්ක ආපු පිරිස දන්නෙ නෑ.
සමනල කන්ද බැහැල මම බස් එක ළඟට එන කොට සියල්ලෝම මුහුණු හංගගෙන නිදි වගේ හිටියා. මමත් බොහොම හෙමින් ගිහින් මම හිටපු ආසනයේ ඉඳගෙන සෑහෙන බයකින් නිහඬව හිටියෙ, බස් එකේදි වැසිකිලි යන්න අවශ් වුනොත් දෙවියන්ගෙ හාස්කම හැමෝටම ඔප්පු වෙයි කියන බයෙන්. බස් රථය පැය ගණනක් ගෙවල කරවනැල්ලට ආවම මම බස් එකෙන් බැහැගත්තා. සියල්ලෝම බැගෑපත් විදිහට මට ජය ලැබුණ කියල හිතාගෙන අත වනල ආචාර කළා. මමත් ඔවුන් ඉදිරියේ කරදරයක් නොවීම ගැන සතුටු වුනා. නමුත් නැවතත් ඒ බඩේ වේදනාවත් එක්ක වැසිකිලි යාමේ අවශ්‍යතාවය තදින් මතුවුනා. රජයේ වැසිකිලිය විමසන්නවත් කෙනෙක් නෑ. වටපිට බලන කොට දැක්කෙ පන්සලක්. ඉක්මනින් පන්සල දිහාවට යන කොට ස්වාමීන් වහන්සේ නමක් දැකල, බඩේ අමාරුවක් තියෙන බව කියල වැසිකිලියක් විමසුවම, ඔය පාරෙන් යන්න කියල රජයේ වැසිකිලිය පෙන්නුවා. මට පාරත් නිච්චි නෑ. වැසිකිලියක් පේන්නත් නෑ. වැසිකිලි යාමේ අවශ්‍යතාවයත් ඒ තරම්ම වැඩියි.
ඒ කාලෙ හිටපු අනික් තරුණයන් වගේ නෙවෙයි, නාඳුනන කාන්තාවන්, තරුණියන් එක්ක කතා කරන්න මට තිබිච්ච ලැජ්ජාව නිසා මම එහෙම කතා කරන්න කැමති වුණේ නෑ. නමුත් කරන්න දෙයක් නෑ. තරුණ ගැහැණු ළමයෙක් මිදුලක් අතු ගාමින් ඉන්නව දැකල කරන්න දෙයක් නැති කමින්, නංගියේ රජයේ වැසිකිලිය කොහේද කියල අහක බලාගෙන ඇහුවා. ඒ ළමයත් අර තියෙන්නෙ කියල ඉදල්මිට වැසිකිලිය දිහාවට දිග් කරල ගස්සල යන්න ගියා. ඉහවහා ගිය ලැජ්ජාවත්, වැසිකිලියාමේ අවශ්‍යතාවයත් නිසාම වැසිකිලියට ගියා. එතැනත් කලින් වගේම වතුර පුරවපු බාල්දියක් තිබුනා. අනූනවයෙන් ඇඳුම බේර ගත්තා. බිම බලාගෙනම බස් නැවතුම් පොළට ඇවිත් ගෝණගල්දෙනිය බස් එකෙන් ආපහු ගමට ආවා. දැන් ගෙදරට තියෙන්නෙ බඹ විසි පහක විතර දුරක් නිසා, දැන් නම් බඩ රිදුනත් බය නෑ කියල හිතුනා. වත්තට ඇතුල්වෙන සීමාවට එනකොට නැවතත් බඩේ වේදනාව ඇතිවුනා. දැන් බයක් නෑ. පැත්තක තිබිච්ච දොළ පාර ගස්වලින් වැහිල තිබුණෙ. වහාම එතැන තිබිච්ච සුදුසු තැනක ඉඳගෙන වේදනාව නැතිවන තුරුම හිටියා. ලේත් එක්ක මළ පහවුනා. නැවත ගෙදර ඇවිත් අම්මටත් ඒ බව කියල කෝපි ටිකක් හදාගත්තත්, කිසිම වේදනාවක් දැනුනෙ නැති නිසා කෝපි ටිකත් නොබී තවත් මොනව වේදෝ කියල හිත හිතා හිටියා. නමුත් බඩේ අමාරුවක සේයාවක්වත් ඊට පස්සෙ ආවෙ නෑ.
නැවතත් පහුවදා වැඩ පොළට ගියාම, පිරිස එකතු වෙලා අද පටන් අපිත් ඔබ කියන දේ පිළිගන්නව කියල මගේ වටේට රොක් වුනා. නමුත් සිද්ධ වෙච්ච දේ විස්තර කරල ඒ පිරිසට කිව්වත්, මම ඒ අයට කොලොප්පම් කරනවයි කියල හිතල ඒ අය ඒ කතාව පිළිගත්තෙ නෑ. නමුත් අවංකවම සත්‍ය හෙළිකරල දෙවියන් පිළිබඳව සහතිකයක් දෙන්න තරම් වැදගත් නිසා, මට සිද්ධ වෙච්ච අත්දැකීම ඒ අයට කිව්වෙ මම අපහසුතාවයකට හෝ අපහාසයකට හෝ පත්වෙන්න ඉඩ නොදීම ගැන සමන් දෙවියන්ට ස්තුති කරමින්. මේ වගේ දේවල් කියන්නෙ, මේ ගුප්ත ස්වභාවයන් ලෝකයේ තියෙන බව තේරුම් අරගෙන භෞතික නිගමනවලට එකවර නොබහින්න කරුණු පෙන්වන්න.
(ඉතිරි කොටස ලබන කලාපයෙන්)
සටහන
නීතිඥ චන්දන සිරිවර්ධන