පෙළ දහමේ සඳහන් වටිනා දහම් කොටස් වගේම වෙනත් පුද්ගලික දහම් පොත්පත්වල පවා සඳහන් වැදගත් කියල හැඟෙන දහම් කොටස් ඥාන ගෝචරව තේරුම් අරගෙන, ලෝකයාට කවදහරි වැදගත් වෙයි කියල හිතල, ලැබුණ ඉඩකඩක කෙටියෙන් සටහන් කර තැබීම වහරක අභයරතනාලංකාර හිමියන්ගේ එදා පටන් පැවති සිරිතක්. මීට අවුරුදු විසිපහකට පමණ පෙර ඒ ආකාරයට උන්වහන්සේ විසින් සටහන් තබන ලද වැදගත් දහම් කොටස් කිහිපයක් පහතින් සටහන් කෙරෙනවා.
කාම වස්තුවක් පිළිබඳව පතන පැතුම් වුවද, සිල්වත්ව සිට ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට යහපත් යමක් දන් දී පැතුවොත් ලැබෙන බවත්, එසේ පැතීම පවක් නොව කාම භවයට හේතු වන බවත් දීඝ නිකාය (3) 443 පිටුවේ එන සංගීති සූත්‍රයේ දැක්වේ.
එසේම දුගී මගී යාචකාදීන්ට දුන් දානය, උතුමන්ට දුන් දානයට වඩා යහපත් යැයි සිතීමේ පාපය ගැන විස්තර කෙලෙස් එක්දහස් පන්සියය පොතේ 188 පිටුවේ ඇත.
ප්‍රාර්ථනාව නිසා පාපයක් වේ යැයි කීමට පිළිතුරු ඇත. කැමැත්තෙන් පතන ලෞකික හොඳ දේ ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා ඇතිව කළොත්, එම සම්පත් ලැබී කාම ස්වර්ගයේද ඉපදිය හැකි බව අංගුත්තර නිකාය (2) 119 පිටුවේ එන නකුල සමජීවී සූත්‍රයේ දක්වා ඇත.
ප්‍රාර්ථනා පිළිබඳව පෙන්වූ තවත් තැනක්. අංගුත්තර නිකාය (2) 125 පිටුව පත්තකම්ම සූත්‍රය. දහම් නොබිඳ භෝග සම්පත්, පරිවාර සම්පත්, දීර්ඝායු සම්පත්, මරණින් මතු සුගති සම්පත් යන මේවා පැතීම ඉෂ්ට – කාන්ත මනාප – දුර්ලභ කාරණා හතරක් බවත්, ශ්‍රද්ධා – සීල – ත්‍යාග – ප්‍රඥාවන්ගෙන් යුක්තව දහම් නොබිඳ සිටියොත් ඒවා ලැබිය හැකි බවත් පෙන්වා ඇත.
ආයුස – නිරෝගී බව – වර්ණය – ස්වර්ගය – උසස් කුල – එකිනෙකාගේ සිත් ඇදගැනීම් පතන අය අප්‍රමාදව පින් කළ යුතු බව සංයුක්ත නිකාය (1) 161 පිටුව අප්පමාද සූත්‍රය.
සිල්වත්ව මිනිස් ලොව හෝ දෙව් ලොව සම්පත් පතා දන් දුන්නොත් ඒ පැතුම ඉටුවන බව. එබැවින් සුව කැමති දිව් සම්පත් පතන්නා වූ හෝ මනුස්ස සම්පත් කැමැත්තා වූ මිනිසා විසින් නිති කැඳ දන් දීම සුදුසු වන්නේය. 565 පිටුව මහා වග්ග පාලි (2)
ධර්ම චරියා-සම චරියා ඇතිව ලොව යම් තැනක උපතක් පැතුවොත් හරියන බව. අනුන් සතු දේ තමාට වේවා යන දැඩි ලෝභය, වෛරය, දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය දුරුව පැතීම නිසා මෙය සිදු වන බවත්, මෙහි පෙන්වූ සම්මා දිට්ඨිය ලෞකික බවත් පෙන්වා ඇත. මජ්ජිම නිකාය (1) 673 පිටුව – වේරංජක සූත්‍රය.
නුවණැත්තෝ ලෞකික කරුණු තුනක් පතා සිල් රකින බව. එනම් ප්‍රසංසාව, වස්තු බලාපොරොත්තුව, ස්වර්ග සැප පතා සිල් රකින බව ඛුද්දක නිකාය (1) – 408 පිටුව – සුඛපත්ථනා සූත්‍රය.
ප්‍රත්‍යක්ෂ කර නොගෙන දහම් දෙසන්න යෑම අවැඩ බව. දීඝ නිකාය (1) 550 පිටුව – ලෝහිච්ච සූත්‍රය.
සතර මහා භූත සාසනය අතුරුදහන් නොකරන බවත්, ත්‍රිවිධ රත්නය කෙරෙහි යටහත් පැවතුම් නැති වීමෙන් සාසනය අතුරුදහන් වන බවත් පෙන්වයි. සංයුක්ත නිකාය (2) 339 පිටුව – සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය.
කාමයෙන් වෙන් වන අයුරු – හටගැනීම (උදයංගම), පැවැත්ම (අත්ථංගම), මිහිර (ආස්වාද), දොස් (ආදීනව), අත්හැරීම (නිස්සරණය). පංච කාමයන් ගැනම මෙසේ තත්වූ සැටියෙන් දැනගත යුතු බව අංගුත්තර නිකාය (2) 22 පිටුව – යෝග සූත්‍රය.
තථාගත ස්ථූපයට මල් සුවඳ පිදීම, සැදැහැයෙන් වැඳීම යහපත් බව. දීඝ නිකාය (2) 223 පිටුව (එබැවින්, බුදුන් වහන්සේ මේවා දේශනා කර නැතැයිද, මේවා කරන පිංවතුන්ට මිථ්‍යා දෘෂ්ඨික යැයිද කියමින් තර්ක කරන උදවිය මෙය කියවා බැලීම වටී)
කළ පිනෙන් යහපත් පටිසන්ධියක් ලැබුවද පසුව පින ගැන උකටලී වීමෙන් අයහපත් ප්‍රවෘත්ති විපාක ලැබූ අයුරු සංයුක්ත නිකාය (1) 169 – පිටුව දුතීය අපුත්තක සූත්‍රය.
ඒ අනුව, එක් සිටුවරයෙක් නගරසිඛී නම් පසේ බුදුවරයන් වහන්සේ නමකට දානයක් දෙන්න අණ කර, පසුව දාසයන්ට ඒ දානය දුන්නා නම් හොඳ යැයි සිතීමෙන් සත් වරක් ස්වර්ගයේද සත් වරක් සිටුවරයෙක්ද වී, සිටු වුවත් කටුක දුප්පතෙකු මෙන් භෝග නොවිඳ ජීවිතය ගත කළ බවත්, එකල දරුවෙකු නැසූ පවින් දරු සැප නැතිව වස්තුව රාජ සන්තක වූ බවත් පෙන්වයි.
අපදාන පාලිය (2)
77 පිටුව – ඒක දීපීය ස්ථවිරාවදානය සිද්ධාර්ථ බුදුන්ගේ චිතකය ළඟ පහනක් දැල්වූ පින් ආනිසංසයෙන් ආලෝක සම්පත් ලබා නිවනට උපනිශ්‍රය ලැබූ බව.
97 පිටුව – සත්ත කදම්භ පුප්ඵීය ස්ථවිරාවදානය – පසේ බුදුවරුන්ට මල් හතක් පුදා ලැබූ පිනෙන් උපනිශ්‍රය ලැබ 94 කල්පයකින් මතු මේ බුද්ධ සාසනයේ නිවන් දුටු බව.
109 පිටුව – සෝවණ්ණකිංකණීය ස්ථවිරාවදානය – වැල්ලේ වැලි ගොඩක් සෑයක් සේ කර කිණිහිර මල් පුදා එම ආනිසංසයෙන් 18 කල්පයක් සුව විඳ නිවනට උපනිශ්‍රය ලැබූ බව.
117 පිටුව – ඒක සංඛීය ස්ථවිරාවදානය – විපස්සී බුදු රජුන්ගේ බෝධියට සක් පිඹීමේ පූජාවක් කොට 91 කපක් සුගතිගාමීව මෙකල නිවනට උපනිශ්‍රය ලබා නිවන් දුටු බව.
119 පිටුව – පාටිහීර සඤ්ඤක ස්ථවිරාවදානය – පදුමුත්තර බුදුන් දවස බුදුන්ද ඇසින් නොදැක, බුද්ධ ඍද්ධි ප්‍රාතිහාර්ය ලෙස ඉබේ සද්ද වන වීණා බෙර හඬ අසා ඒ ප්‍රාතිහාර්‌යෙන් සිත් පහදවා ගත් පමණින් කල්ප සිය දහසක් දුගතියෙහි නොඉපදී මෙකල නිවන් දැකීමට උපනිශ්‍රය සම්පත් ලැබූ බව.
147 පිටුව – සීහාසන වීජක ස්ථවිරාවදානය – තිස්ස බුදුන්ගේ බෝධිය ළඟ සිහසුනට පවන් සැලීමෙන් 92 කල්පයක් දුගතියෙන් මිදී මෙකල නිවන් ලැබූ බව.
179 පිටුව – සුමණ විජනීය ස්ථවිරාවදානය – සමන් මල් වටාපතකින් විපස්සී බුදු රජුන්ගේ බෝධියට පවන් සලා ඒ පිනෙන් 91 කල්පයක් සුගතිගාමීව මෙකල නිවන් දුටු බව.
187 පිටුව – පුලින චංකමීය ස්ථවිරාවදානය – මුව වැද්දෙකුව සිට සක්මනක් දැක සක්මනට වැලි ඉසීමෙන් 31 කල්පයක් සුගතිගාමීව නිවනට උපනිශ්‍රය ලබා නිවන් දුටු බව.
187 පිටුව – පංසුකූල සඤ්ඤක ස්ථවිරාවදානය – කඩු දුනු ගෙන ආහාර සෙවීමට කැලෑ වැදුණු කෙනෙක්, එල්වා තිබූ බුද්ධ චීවරයක් දැක ගරු සිතින් වැන්ද පිනෙන් 92 කල්පයක් යන තුරු සුගතිගාමීව මේ සාසනය සමයේ නිවන් දුටු බව.
189 පිටුව – බුද්ධ සඤ්ඤක ස්ථවිරාවදානය – සිද්ධාර්ථ බුදු රජුන් නොදැකම බුද්ධ ශ් ෂ්ඨ සංඥාව උපදවා කළුරිය කොට ඒ පිනෙන් 94 කපක් දුගතියෙන් මිදී සිට මෙකල නිවන් දුටු බව.
205 පිටුව – පුලිනුප්පාදක ස්ථවිරාවදානය – බුදු රජුන් ලොව පහළ වන්නත් පෙර, වේදයේ ඇති බුදුවරුන්ගේ පිටත පෙනෙන ගුණ සිතා වැලි සෑයක් සාදවා වැඳ පූජා කිරීමෙන් සිය දහස් කල්පයක් දුගති නැතිව සුගති ගතවී මෙකල නිවන් දැකීමට උපනිශ්‍රය ලැබූ බව.
209 පිටුව – තරණීය ස්ථවිරාවදානය – කැස්බෑවෙක්ව අත්ථදස්සී බුදු රජුන් ගඟින් එගොඩ කළ පිනෙන් අටළොස් සිය කල්පයක් ගතිගාමීව මෙකල මේ සාසනයේ නිවන් දුටු බව.
මේ කාරණා අනුව, බුද්ධ සාසනයක් වෙනුවෙන් යමෙක් විසින් සුළුවෙන් කරන පූජාවක් හෝ ඇප උපස්ථානයක් හෝ සිත පහදවා ගැනීමක් හෝ වෙනත් ලෞකික පින් කටයුතු මෙන් සුළු කොට නොසිතිය යුතු බවත්, කවදා හෝ බුද්ධ සාසනයක උත්තරීතර ඵල ලබා සසර ගමන කෙළවර කර ගැනීමට උපනිශ්‍රය වන බවත් වටහා ගත යුතුයි. මේ සියලු අතීත සිද්ධි ඒ ඒ තෙරණුවන්/තෙරණියන් විසින් නිවන් මග පූර්ණ කර පෙර විසූ කඳ පිළිවෙල දිවැසින් දැක අතීතය සිහි කිරීමෙන් අනතුරුව චිත්ත ප්‍රසාදයෙන් යුතුව ප්‍රකාශ කළ වැකි මිසක් මනංකල්පිතයන් නොවේ.
මේ අනුව වර්තමානයේද සමාජයේ විවිධාකාර පුද්ගලයන් විසින් අංශුමාත්‍රයක හෝ බුද්ධ සංඥාවක් මුල් කරගෙන සිද්ධ කරන පිනක් පහත් කොට නොසැලකිය යුතුයි. සමහර විට කුඩා දරුවෙක් අඳින චිත්‍රයක් වෙන්න පුළුවන්, හදන වෙසක් කූඩුවක්, එල්ලන කොඩියක් වෙන්න පුළුවන්, සුළුවෙන් හෝ දෙන දන්සැලක් වෙන්න පුළුවන්… මේ කුමන කටයුත්ත වුණත් බුද්ධ සාසනයක් මුල් කරගෙන සිද්ධ කළේ නම් එයින් ලැබෙන ඵල සුළුවට නොසිතිය යුතුයි. සමහරවිට සමාජයේ දුශ්චරිත යැයි, වැරදි යැයි සම්මත කෙනෙක් පවා ඉඳ හිට හෝ සිදු කරන පින්කමක් දැක ඊට නොගැරහිය යුතුයි. මන්ද ඒ කෙනාට කවදා හෝ මේ භයංකර සසරින් එතෙර වෙන්න ඒ පින උපනිශ්‍රය වන නිසා. එසේම මනුස්සයින් ආශ්‍රිතව වෙසෙන සතර අපාගත සත්ත්වයින් පවා සමහරවිට භික්ෂූන් වහන්සේ නමක් කෙරෙහි, බෞද්ධයෙක් කෙරෙහි පැහැදී, අංග චලනයන්ගෙන් ප්‍රතිචාර දැක්වීම පවා ඒ සතාට සතර අපායෙන් කවදහරි මිදෙන්න උපනිශ්‍රය වන බවත් තේරුම් ගත යුතුයි. අති දුර්ලභව පහළ වන සම්බුද්ධ සාසනයක ඇති අසීමිත වටිනාකම මේ කාරණාවලින් තේරුම් ගත යුතුයි.
සංයුක්ත නිකාය (5-1)- 191 පිටුව අනීවරණ සූත්‍රය
ධර්ම ශ්‍රවණයෙන් නීවරණ දුරු වී සප්ත බොජ්ජංග වැඩෙන බව. බණ ඇසීම කරන විට පංච නීවරණ නැති බවත්, සප්ත බොජ්ඣංග භාවනාව සිදු වන බවත් පෙන්වා දී ඇත. භාවනාව කුමක්දැයි අසන අය, බණ ඇසීම ආර්ය භාවනාවක් බවද දැන ගැනීමට මේ සූත්‍රය ඉතා යහපත් වේ.
අංගුත්තර නිකාය (2) – 483 පිටුව අරණ්‍ය සේනාසන සූත්‍රය
අරණ්‍ය , ශුන්‍යාගාර, මිනිස් රහිත වන සෙනසුන් නුසුදුසු කාරණා 4 ක් ඇති අය නම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, ජඩ වූ දුෂ්ප්‍රාඥ යන හතර කරුණු ඇති අයයි. ඊට සුදුසුකම් ඇත්තේ, නෙක්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක, ජඩ නොවූ ප්‍රඥාවන්ත යන කරුණු ඇති අයටයි.
අංගුත්තර නිකාය (5)- 389 පිටුව – බලසංගහ වත්ථු සූත්‍රය
සමානාත්මතාවය නම්, යම් මගඵල ලාභියෙක් ඒ අනුරූප මගඵල ලාභියෙකුට සමානාත්මතාවයෙන් යුතු බව පෙන්වා ඇත. එහිම බිය පහද පෙන්වා ඇත.
විශේෂ කරුණක් – මිලින්ද ප්‍රශ්නයෙහි 289 පිටුව
“උත්තිට්ඨේ නප්ප මජ්ජ්‍යෙය උදරේ සංයතෝසියා” උදර පෝෂණය සංයත කරගත්විට අප්‍රමාදව නැගී සිටින බව මින් කියැවේ. ආහාර පමණ දැන වැළඳීම මුඛයෙන් ගන්නා ආහාර පිඬුවලට සීමා නොකර බඩ වඩා ගැනීම යන්නද ගෙන විග්‍රහ කළ යුතුය.
ආර්ය මෛත්‍රී භාවනාව යනුවෙන් වෙනම මෛත්‍රී භාවනාවක් නැතැයි කියමින් තර්ක කරන උදවියට නියම ආර්ය මෛත්‍රිය සහ ලෝක සම්මත (ලෞකික) මෛත්‍රිය දැන ගැනීමට අවශ්‍ය නම් සංයුක්ත නිකායේ (5-1) හලිද්දවසන (මෙත්තා) සූත්‍රය බලන්න.
රහත් උතුමන් විජ්ජාචරණ සම්පන්න බව – සංයුක්ත නිකාය (1) – 299 පිටුව – අග්ගික සූත්‍රය – යමෙක් පෙර විසූ කඳ පිළිවෙල දනීද, ස්වර්ගය හා අපාය දනීද, වැලි ජාතික්ෂය සංඛ්‍යාත අරිහත්වයට පැමිණියේද, දැන නිමවන ලද කිස ඇත්තේද (කළ යුතු කටයුතු
සියල්ල ඉවර කළේද) විජ්ජාචරණ සම්පන්න වේ.
එක ගාථාවක් පෙළ දැන අරුත් දැන ධර්මානුධර්ම පිළිවෙලින් කටයුතු කළත් ඒ පුද්ගලයා බහුශ්‍රැත හා ධර්මධර බවට බුදු රජාණන් වහන්සේ අනුමත කරන බව. අංගුත්තර නිකාය (2) 345 පිටුව බහුස්සුත සූත්‍රය.
තවුස් භාවනාවෙන් නොව සිත කය වචන සුචරිතව යථා නුවණින් විමසා කටයුතු කර නිවන් ලැබෙන බව – ඉහත පොතේ 385 පිටුව – සාළහ සූත්‍රය.
සිල්වත් වීම, බහුශ්‍රැත වීම (ඇසීම – දැරීම – වනපොත් කිරීම හෙවත් කටපාඩම් කිරීම – දහම් ගැන සිතීම – නැවත මෙනෙහි කිරීම), අධි චිත්තය ඇසුරු කර සතර දැහැන් වැඩීම, ආස්‍රව ක්ෂය හේතුවෙන් චේතෝ විමුක්ති – ප්‍රඥා විමුක්ති මෙලොවදීම ලැබ ප්‍රත්‍යක්ෂකොට විසීම තෙර කරන ධර්ම බව. අංගුත්තර නිකාය (2) 45 පිටුව – ද්විතීය උරුවේල සූත්‍රය.
ධ්‍යාන පිළිබඳව – අංගුත්තර නිකාය (6)- 609 පිටුවේ පටන් සන්ධ සූත්‍රය
අජානේය ධ්‍යායිතය සිතව, අස්ව ගුණ්ඩයාගේ ධ්‍යායිතය නොසිතව.
අස්ව ගුණ්ඩයාගේ ස්වභාවය
අසුන් බලන්නා අද මා ලවා කුමක් කරවන්නේද, මම අද කුමන ප්‍රතිචාරයක් දක්වන්නේද කියා නොසිතයි. කෑමට දැමූ යව ගැනම සිතයි.
අජානේය අස්වයාගේ ස්වභාවය
ළඟ බැඳ සිටියත් යව ගැන නොසිතයි. අසුන් බලන්නා අද මා ලවා කුමක් කරවයිද, මම කුමක් කළ යුතුද කියා සිතයි. ආහාර ගෙන නිදීමට වීම පිරිහීමක්, හානියක්, මහා අපරාධයක් ලෙස මනා සේ දකී.
අස්වගුණ්ඩ ධ්‍යායිකයා
ආරණ්‍යට, රුක් මුලට, ශූන්‍යාගාරයට ගියත් කාම රාගයෙන් කාම සිතිවිල්ලෙන් වසයි. උපන් කාමයන්ගේ නිස්සරණය ඇති සැටියෙන් නොදකී. කාම රාගය අභ් න්තරයේ තියාගෙන ධ්‍යාන කරයි. ප්‍රධ්‍යාන කරයි. නිබඳව ධ්‍යාන කරයි. බැසගෙන සිතයි. ව්‍යාපාද සිතින් වසයි. ථීන මිද්ධව වසයි. උද්ධච්ච කුක්කුච්චව වසයි. සැකයෙන් යුතුව වසයි. උපන් සැකයේ නිස්සරණය නොදනී. සැක ඇතිවම සිතයි. නොයෙක් අයුරින් සිතයි. නිබඳව සිතයි. බැසගෙන සිතයි. පඨවිය නිසා, ජලය නිසා, ගින්න නිසා, වායුව නිසා ධ්‍යාන කරයි. ආකාසානඤ්චායතනය නිසා, විඤ්ඤාණඤ්චායතනය නිසා, ආකිඤ්චඤ්ඤායතනය නිසා, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිසා ධ්‍යාන කරයි. මෙලොව නිසා, පරලොව නිසා ධ්‍යාන කරයි. දැකපු, අහපු, මතක් කරපු දැනීම් පතමින් පරීක්ෂා කරමින්, අනුව ගිය මනසින් ධ්‍යාන කරයි. මේ අස්වගුණ්ඩ ධ්‍යානයයි.
අජානේය ධ්‍යායිකයා
පුරුෂ අජානයා කැළයට ගියේ හෝ රුක් මුලට ගියේ හෝ ශූන්‍යාගාරයට ගියේ හෝ කාම රාගයෙන් මැඩුණු සිතින් නොවසයි. උපන් කාමයාගේ නිස්සරණය දකී. ව්‍යාපාද සිතින් නොවසයි. ථීන මිද්ධයෙන් නොවසයි. උද්ධච්ච කුක්කුච්චයෙන් නොවසයි. විචිකිච්චාවෙන් නොවසයි. උපන් විචිකිච්චාවේ නිස්සරණය තතු සේ දනී. හේ පෘථිවිය (පඨවිය) නිසා, ආපය (ජලය) නිසා, ගිනි නිසා, වායු නිසා ධ්‍යාන නොකරයි. ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්ච-ඤ්ඤායතනය, නේවසඤ්ඤා-නාසඤ්ඤායතනය නිසා ධ්‍යාන නොකරයි. මෙලොව නිසා, පරලොව නිසා ධ්‍යාන නොකරයි. එතෙකුදු වුවත් ධ්‍යාන කරයි.
මේ භද්‍ර පුරුෂ අජානෙයාට ඉන්ද්‍රයා, බ්‍රහ්මයා, ප්‍රජාපතී සහිත දෙවියන් විසින් දුරදීම නමදනාහ. යම් අරමුණක් නිසා ධ්‍යාන කරන්නේ නම්, ඒ අරමුණ නොපෙනේ නම් පුරුෂ අජානයාණනි, ඔබට නමස්කාර වේවායි කියයි.
මෙසේ වදාළ කල්හි සන්ධ තෙරණුවෝ, යම් අරමුණක් නිසා ධ්‍යාන නොකරන්නේ නම් කෙසේ ධ්‍යාන කරන්නේ දැයි ඇසීය.
සන්ධයෙනි, මේ සාසනයෙහි පුරුෂ අජානෙයා හට පෘථිවි ධ්‍යාන සංඥා ප්‍රකට වෙයි. ආපෝ – තේජෝ – වායෝහි සංඥා ප්‍රකට වෙයි. ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්ච-ඤ්ඤායතන, නේවසඤ්ඤා-නාසඤ්ඤායතන සංඥා ප්‍රකට වෙයි. ඉහ ලෝකයෙහි (මේ ජීවිතය) පර ලෝකයෙහි සංඥා ප්‍රකට වෙයි.
යම් ප්‍රාන්ත පර්‌යේෂණවලින් යුතුව දකින, අහන, මතක ඇති දැනීමක් වේද, එයද ප්‍රකට වෙයි. ධර්මානුකූල සිතුම් ඇති ඒ පුරිස අජානික පෘථිවි, ආපෝ, තේජෝ… ආදී ධ්‍යාන නොකරයි. එහෙත් ධ්‍යාන කරයි. (මෙම ධ්‍යානය ලැබෙන හැටි විස්තර කර දිය යුතුය).
පටිච්ච සමුප්පාදය – දීඝ නිකාය (2) 91 පිටුව – මහා නිධාන සූත්‍රය – ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ. කෙසේද? මිනිස්, දෙවි, බඹ, යක්, සිවුපා, සර්ප ඒ ඒ සතුන්ගේ ඉපදීම නිසාම ජරා මරණ වේ.
භව ප්‍රත්‍යයෙන් ජාති වේ. කෙසේද? කාම භව, රූප භව, අරූප භව නිසා ජාති වේ.
උපාදාන ප්‍රත්‍යයෙන් භව වේ. කෙසේද? කාමූපාදානය, දෘෂ්ට් පාදානය (දෘෂ්ඨි උපාදානය), සීලවෘත උපාදානය, ආත්මාවදෝපාදානය (අත්තවාද උපාදානය) නිසා භවය වේ.
තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වේ. කෙසේද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා නිසා උපාදාන වේ.
වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. කෙසේද? චක්ඛු සම්ඵස්සජා වේදනා, සෝත, ඝාන, ජිව්හා, කාය, මනෝ සම්ඵස්සජා වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වේ.
විස්තර – තණ්හාව නිසා පරීක්ෂණ – පරීක්ෂණ නිසා ලාභ හෙවත් ලැබීම – ලැබීම නිසා අරමුණ විනිශ්චය කිරීම – විනිශ්චය නිසා ඡන්දරාගය – ඡන්දරාගය නිසා අධ්‍යාවසානය. (මම, මගේ යනුවෙන් තමා කෙරෙහි සනිටුහන් කිරීම) – අධ්‍යාවසානය නිසා පරිග්‍රහය
(අල්ලා ගැනීම) වේ. පරිග්‍රහය නිසා මසුරු බව වේ.
අධ්‍යාවසානය නිසා මසුරු බව – මසුරු බව නිසා රැකීම – රැකීම නිසා දඬුමුගුරු ගැනුම්, අවි ගැනුම්, කලහ විවාද, තා තෝ කීම්, කේලාම් බොරු කීම් ආදී අකුසල් දහම් වේ.
මසුරු බව නිසා එසේම රැක ගැනීම් වේ. එහි හේතු ප්‍රත්‍ය ආකාරය – වස්තු රැකීමෙන් දඬු මුගුරු අවි දැරුම්, කලහ විවාද, තා තෝ කීම්, කේලාම් බොරු කීම්… ආදිය වේ.
එසේම රැක්ම නිසා මසුරු බව වේ. අධ්‍යාවසානය නිසා පරිග්‍රහය වේ.
ඡන්දරාගය නිසා අධ්‍යාවසානය වේ. විනිශ්චය නිසා ඡන්දරාගය වේ. ලාභය නිසා විනිශ්චය වේ.
පර්‌යේෂණය නිසා ලාභය වේ. තෘෂ්ණාව නිසා පරීක්ෂණය වේ.
මෙසේ වේදනා ප්‍රත්‍යයෙන් වට්ට මූල තණ්හාව, සමුද්‍රචාර තණ්හාව වේ.
මෙහි තව දුරටත් මෙසේ විස්තර වේ. ස්පර්ශයෙන් වේදනාව වේ.
චක්ඛු – සෝත – ඝාන – ජිව්හා – කාය – මනෝ යන ස්පර්ශයෙන් වේදනාව වේ.
නාමරූප ප්‍රත් යෙන් ස්පර්ශය වේ. කෙසේ වේද? යම් ආකාරයක් – ලිංගයක් – නිමිත්තක් – උද්දේසයක් – ප්‍රඥප්තියක් සමග නාම කායයාගේ පැනවීම වේ.
එම ආකාර – ලිංග – නිමිති – උද්දේස – ප්‍රඥප්ති නැති කල්හි රූප කායයන්හි අධි වචන ස්පර්ශයක් නොවේ.
විඤ්ඤාණ ප්‍රත් යෙන් නාම රූප වේ යනු, විඤ්ඤාණය මව් කුසකට නොබස්නේ නම් ගැබ තුළ නාම රූපයක් හට නොගනී. ළදරු කුමරකුගේ කුමරියකගේ විඤ්ඤාණය සිඳෙන්නේ නම් නාම රූපයෝ වැඩීමක් නොවේ. ඇති විට වේ. විඤ්ඤාණ පච්චයා නාමරූපං යනු මෙය වේ.
නාමරූප පච්චයා විඤ්ඤාණං – නාම රූපයේ ප්‍රත් නොලබා විඤ්ඤාණය නොපවතී. නාම රූපය විඤ්ඤාණය ඇසුරු කිරීමෙන්, විඤ්ඤාණය නාම රූපය ඇසුරු කිරීමෙන් ජාතියයි, ජරා මරණයයි යන මෙය පැනේ.
විඤ්ඤාණයෙන් නාම රූපයත් උනුනුන්ට ප්‍රත් ව පවතින නිසාම ජාති ජරා ව්‍යාධි මරණ, නැවත ජාතිය… ආදිය වේ. මේ නිසාම අධි වචන – නිරුක්ති – ප්‍රඤ්ඤප්ති පැනේ.
සටහන
නීතිඥ චන්දන සිරිවර්ධන