වටිනා දහම් කොටස්…

hbp-01-4.png

වහරක අභයරතනාලංකාර හිමියන් ගිහි වතක සිටියදී පෙළ දහම් පොත් ඇසුරෙන් තමන්ගේ නැණ නුවණට ගෝචර වෙන විදිහට දිනපොතක සටහන් කර තැබූ වැදගත් දහම් කොටස් කිහිපයක් මේ ආකාරයට සටහන් කෙරෙනවා.

අංගුත්තර නිකාය (3) – 65 පිටුව භෝජන සූත්‍රය – භෝජනය කාරණා 5 ක් ලබාදෙන බව. එනම් දිව් මනුස්ස ආයුස, වර්ණය, සැපය, බලය, පටිභානය හෙවත් ප්‍රඥාව.

මජ්ජිම නිකාය (2) – 308 පිටුව සන්දක සූත්‍රය – රහතන් වහන්සේ නොකරන කරුණු 5 කි.

  1. දැන දැන සතුන් මැරීම
  2. සොරකම
  3. මෛථූන සේවනය
  4. බොරු කීම
  5. රැස්කර තබා ගෙන කාම පරිභෝගය

අංගුත්තර නිකාය (1) – 55 පිටුව අට්ඨාන පාළි – සෝතාපන්න පුද්ගලයා නොකරන කරුණු 9 ක් විස්තර වේ.

  1. සියලු සංඛාර නිච්චයි කියා ගැනීම.
  2. සියලු සංඛාර සුඛයි කියා ගැනීම.
  3. සියලු ධර්ම අත්තයි කියා ගැනීම
  4. මව මැරීම
  5. පියා මැරීම
  6. රහතුන් මැරීම
  7. දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයේ ලේ සෙලවීම
  8. සංඝයා භේද කිරීම
  9. වෙන ත් සාස්තෘන් සරණ යෑම

මහා නිද්දේස පාළියේ සුද්දට්ඨක සූත්‍ර නිර්දේශය – 124 පිටුව පුණ්‍ය යනු – “පුඤ්ඤං වුච්චති යං කිඤ්චි තේ ධාතුකං කුසලාභි සංඛාරං” යනුවෙන්ද (යම් කිසි ත්‍රෛධාතුක [කාම, රූප, අරූප] කුසලාභි සංඛාරයක් පුණ්‍ය වේ යැයි කියනු ලැබේ.)

“අපුඤ්ඤං වුච්චති සබ්බං අකුසලං” යනුවෙන්ද ඇත. (සියලු අකුසලය අපුණ් යැයි කියනු ලැබේ).

පටිසම්භිදා මග්ග පොත (1) – 102 පිටුව – සම්මස්සන ඥාන විස්තරය – අනත්තා යන්නෙහි අර්ථය

“අසාරකට්ඨේන අනත්තා” අසාර අර්ථයෙන් අනත්තය. අටුවාවල “අවසවත්ත නට්ඨේන අනත්තා / අවසවත්ත භාවෝ අනත්තා” – වසඟයෙහි නොපවත්වන හෙයින් අනත්ත යයි පෙන්වා ඇත. (පෙළ දහම් අරුත යහපති යයි මගේ අදහසයි.)

මජ්ජිම නිකාය (2) – 432 පිටුව – රට්ඨපාල සූත්‍රය – සික්ෂාව කුසල් මග බවත් පින් සැප (ලෞකික) දෙන බවත් පෙන්වීමට නිදසුනක්.

“ඒහි ත්වං තාත රට්ඨපාල සික්ඛං පච්චක්ඛාය හීනා යාවත් තිත්වා භෝගේච භුඤ්ජස්සු පුඤ්ඤානීච කරෝහි.” මෙයින් කියවෙන්නේ, රට්ඨපාල තෙරුන්ගෙන් සික්ෂාව හැර භෝග වළඳමින් පින් කරමින් සිටින ලෙස (ගිහිව) කළ ඉල්ලීමකි.

එසේම අංගුත්තර නිකාය (4) සත්තක නිපාතයේ – 412 පිටුව මාපුඤ්ඤාභායී සූත්‍රය.

“මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ සුඛස්සේතං භික්ඛවේ අධි වචනං යදිදං පුඤ්ඤන්ති” යනුවෙන් පෙන්වා ඇත. පිනට බිය නොවන ලෙසත්, පින යනු සැපයට කියන තවත් වචනයක් බවත් පෙන්වා ඇත.

දීඝ නිකාය (1) – 23 පිටුව බ්‍රහ්මජාල සූත්‍රයනාම ගෝත්‍ර යන්න පෙර වූ මතකයන් පිළිබඳ පවසන නමක් බව.

“අසවල් තැන වීමී. මේ නම් ඇතියෙමි… නොයෙක් සිය ගණන් ජාතීන්ද මෙසේ පැහැ සටහන් ආදී ආකාර සහිත කොට නාම ගෝත්‍ර වශයෙන් උද්දේස සහිත කොට නොයෙක් වැදෑරුම් පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි.”

දීඝ නිකාය (1) – 61 පිටුව –බ්‍රහ්මජාල සූත්‍රය – දෙවියෝද වළඳන්නේ කබලිංකාර ආහාර බවට සාධකයක්

“රූපී වූ කාමාවචර දෙව්ලෝ සයට ඇතුලත් කබලිංකාර ආහාර වළඳන දිව්‍ය වූ අන් ආත්මයක් ඇත” යන ඡේදය තුලින් විද් මාන වේ.

ගර්භාවක්‍රන්ති පිළිබඳව බුද්ධ වචනයක්.

අංගුත්තර නිකාය (1) – 316 පිටුව ෂඩ් ධාතු (ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාස, විඤ්ඤාණ) නිසා ගර්භා වක්‍රන්තිය වී නාමරූප, සලායතන, ස්පර්ශ… ආදී පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය වන අයුරු පෙන්වා ඇත.

මජ්ජිම නිකාය (1) – 622 පිටුව මහා තණ්හා සංඛය සූත්‍රය – තිණ්ණං ඛෝ පන භික්ඛවේ සන්නිපාතා ගබ්භස්සාවක්කන්ති හෝති. යථෝච ඛෝ භික්ඛවේ මාතා පිතරෝච සන්නි පතිතා හොන්ති, මාතාච උතුනී හොන්ති ගන්ධබ්බෝච පච්චු පට්ඨිතෝ හෝති ඒවං තිණ්ණං සන්නිපාතා ගබ්භස්සාවක්කන්ති හෝති.

මහණෙනි, ගැබක් පිළිසිඳ ගැනීමට කාරණා තුනක් අවශ් යි. මව්පියන්ගේ එක්වීම, මව සෘතු ඇත්තියක් වීම, ගන්ධබ්බයකුගේ පැමිණීම යන කාරණා තුන මුල් වී ගැබක් පිහිටයි.

දීඝ නිකාය (1) – 541 පිටුව – ලෝහිච්ච සූත්‍රය

ධර්ම දේශනාවට සුදුසු වූ, අපවාද නොකළ යුතු, චෝදනා නොකළ යුතු, සත් වූ, දැහැමි වූ, නිවැරදි වූ අය ගැනත්, එසේම අපවාද චෝදනා කළ යුතු, අසත් , අභූත, නොදැහැමි, වැරදි වූ අය ගැනත් විස්තරයක් ඇත.

සංයුක්ත නිකාය 2 – 205 පිටුවේ – ජරා මරණ සූත්‍රයේ පටන් 207 පිටුවේ සංඛාර සූත්‍රය තෙක් සූත්‍රවල සාස්තෘවරයකු අවශ් වන හේතුව පෙන්වා ඇත. පටිච්ච සමුප්පාදය පිළිබඳව කරුණු තතු සේ නොදත්තෙකු, ඒවායේ නිරෝධය තතු සේ නොදත්තෙකු, ඒවායේ නිරෝධ ගාමිණී පටිපදාව තතු සේ නොදත්තෙකු විසින් සාස්තෘවරයකු සෙවිය යුතු බව සඳහන්ව ඇත.

සංයුක්ත නිකාය (2) – 209 – 211 දක්වා පිටුසාසනයේ කටයුතු ශික්ෂා ක්‍රමය.

සම්පිණ්ඩනය – මහණෙනි, ජරා මරණ තතු සේ නොදන්නාහු විසින් අප්‍රමාද, ඥානය, සිහිය, සත් ක්‍රියා, වීර්‍යය, කෙළෙස් තවන වීර්‍යය, නොපසුබස්නා වීර්‍යය, අධිමාත්‍ර වීර්‍යය, කත්තුකම් තා කුසලඡන්ද (කුසල් කිරීමේ කැමත්ත), යෝග, ත්‍රිවිධ ශික්ෂා කටයුතුයි.

සංයුක්ත නිකාය (2) – 427 පිටුව ආරබ්ධ වීර්‍ය ගැන

මොග්ගල්ලානය, මෙහි මහණ තෙමේ ඒකාන්තයෙන් සිරුරෙහි සිවියත් නහරත් ඇටත් ඉතිරි වේවා, මස් ලේ වියලේවා, පුරිස ශක්තියෙන් පුරිස වීර්‍යයෙන් පුරිස පරාක්‍රමයෙන් ඒ යමක් ලැබිය යුතු නම්, එය නොලබා වීර්‍යාගේ සිටීමක් නොවන්නේ යයි පටන් ගන්නා වීර්‍ය ඇතිව වෙසෙයි. මොග්ගල්ලානය මෙසේ ආරබ්ධ (පටන් ගන්නා ලද) විරිය වේ.

සංයුක්ත නිකාය (2) – 169 පිටුව සම්මස්සන සූත්‍රයඋපධි යනු උපාදානය බවට සාක්ෂියක්.

උපධිය තෘෂ්ණාව නිධාන කොට ඇත්තේය, තෘෂ්ණාව සමුදය කොට ඇත්තේය, තෘෂ්ණාව ජාති කොට ඇත්තේය, තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තේය. තෘෂ්ණාව ඇති කල්හි උපධි වෙයි. තෘෂ්ණාව නැති කල්හි උපධි නොවෙයි. මෙසේ දැන ගනී.

සංයුක්ත නිකාය (2) – 181 පිටුව – නල කලාප සූත්‍රය

ධම්ම කථික – ධම්මානුධම්ම පිළිපන්න – දිටු දැමියෙහි රහත් යන කරුණු 3 සඳහා පටිච්ච සමුප්පන්න හේතුඵල ක්‍රමයට දහම් විස්තර කර දෙසන අයද, ඒ මග පිළිපදින අයද, එම මග පිළිපැද උපාදාන රහිතව මිදුන අයද ගැනෙන බව.

අංගුත්තර නිකාය (5) – 46 පිටුව වේරංජ සූත්‍රය

අප්පගබ්භ යනු පුනර්භවයෙහි ගැබ් ගැනීමෙන් මිදීම බව

එහිම 51 පිටුව – මගඵල ලබන අයුරු සහ බුදු රජුන් ලැබූ අයුරු

අංගුත්තර නිකාය (5) – 141 පිටුව අනුරුද්ධ සූත්‍රය

අෂ්ට මහා පුරුෂ විතර්කයන්ද විතර්කනය කරන (නැවත මෙනෙහි කරන), දිට්ඨ ධම්ම සුඛ විහරණය කරන, සතර දැහැන් නිදුකින් සුවසේ ලබන්නෙක් වන්නහුට, යම් සේ ගෘහ පුත්‍රයකු වටිනා ආසන සැප යැයි ගන්නාක් මෙන් වෘක්ෂ මූල, තණ ඇතිරියෙන් කළ පල්ලංක සේනාසනය මැනවැයි වැටහෙන බව. මේ ධර්මය,

  1. අල්පේච්චයාටය (අල්ප දෙයින් සතුටු වන), මහිච්චයාට නොවේ.
  2. සංතුට්ටිකයාටය (ලද දෙයින් සතුටු වන), අසංතුට්ටිකයාට නොවේ.
  3. පවිවේකයාටය (විවේකයට කැමති), සංඝනිකාරාමතාවයෙහි යෙදෙන්නාට නොවේ.
  4. පටන් ගන්නා ලද වීර්ය ඇත්තාටය, කුසීතයාට නොවේ.
  5. එලඹ සිටි සිහි ඇත්තාටය, මුලා සිහි ඇත්තාට නොවේ.
  6. සමාහිතයාටය (සිත සමාධිගත), අසමාහිතයාට නොවේ.
  7. ප්‍රඥාවන්තයාටය, දුස්ප්‍රඥයාට නොවේ.
  8. මානාදී ප්‍රපංච (තණ්හා, දිට්ඨි, මාන) නැත්තාටය, ඇලුම් නැත්තාටය, ප්‍රපංචයන් ආරාම කොට ඇලුම් ඇත්තාට නොවේ

දීඝ නිකාය (3) – 194 පිටුව පාසාදික සූත්‍රය

තුන් කල්හි වෙනස් නොවන බුදු දහම නම් සත්තිස් බෝධි පාක්ෂික ධර්ම බවත්, නිතර සාකච්ඡා කර අර්ථ ව්‍යංජන නිසි ලෙස ඉගෙන ගත යුත්තේ ඒවා බවත් පෙන්වා ඇත.

පටිසම්භිදා මග්ගප්‍රකරණ – 507 පිටුව – විපල්ලාස කතා

මෙහි දෘෂ්ඨි සම්පන්න හෙවත් සෝවාන් පුද්ගලයාට අනිච්ච – දුක්ඛ – අනත්ත – අසුබ යන හතරෙහි සංඥා – චිත්ත – දිට්ඨි යන විපර්‍යාසවලින් දුරුවන සහ දුරු නොවන දේ මෙසේ පෙන්වා ඇත.

අනිච්ච දේ නිච්චයි යන සංඥා – චිත්ත – දිට්ඨි විපල්ලාස දුරු වේ. දුක්ඛයේ සුඛ සංඥා සහ චිත්ත විපල්ලාසය හැර දිට්ඨි විපල්ලාසය දුරු වේ. අනත්තයේ අත්ත සංඥා – චිත්ත – දිට්ඨි විපල්ලාස දුරු වේ. අසුබයේ සුබ යන සංඥා – චිත්ත හැර දිට්ඨි විපල්ලාසය දුරු වේ.

සටහන
නීතිඥ චන්දන සිරිවර්ධන

scroll to top