යම් වචනයක් හේතු කොට ගෙන යමක් දිහා බලනකොට දුක වැටහෙනවනම්, දුකට හේතුව වැටහෙනවනම්, දුක නැති කිරීම වැටහෙනවනම්, දුක නැති කිරීමට මගවැටහෙනවනම් ඒ වචන දරන්න සුදුසුයි. ඒක නිතර මෙනෙහි කළ යුතුයි, ඊට අනුව හැසිරීම පුරුදු කළ යුතුයි. ඒ ඇයි? දුක් විඳින බව දැනගෙන මායාවෙන් මුලාවෙන් මිදිල සැනසෙන්න. බුද්ධ වචනය දරන පිංවතුන් ලෝකය පරීක්ෂා කරමින් ලෝක විෂය හොයන්න යන්නෙ නෑ. ඒ ඇයි? තමනුත් පිස්සෙක් වගේ තත්වයට පත්වෙලා ලෝකයාටත් පිස්සු ඇති කරන නිසා. කෙනෙක් යමක් ප්‍රත් ක්ෂ කරන කොට, ලෝකයේ රහස් අනාවරණය නිවැරදිව ගෙන හැර දක්වන්න නම් ලොව්තුරා බුදු විය යුතුයි. සැරියුත් මහ රහතන් වහන්සේත් සිද්ධ කළේ මාතෘකා විදිහට හෙළි කරල දුන්න බුද්ධ භාසිතය විග්රහ කිරීම. එහෙම වුනේ සත්ව ලෝකයත්, සංස්කාර ලෝකයත්, අවකාශ ලෝකයත් හරියාකාරව විග්රහ කරන්න ලොව්තුරා බුදුවරයන් වහන්සේලා හැර අනික් අය දක්ෂ නොවීම නිසා.
“ආනන්ද මම දේශනා කළ දහම් මේ අතේ තියෙන කොළ වගෙයි, දේශනා නොකළ දහම් මේ කැළයේ තියෙන ඉතිරි කොළ වගෙයි” මේ බුදු වදන බුදුන් වහන්සේ විසින් ආනන්ද හිමියන්ට දේශනා කරල තියෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ සියලු ලෝක ගැන තතු දැන ගෙන වටහගෙන හිටපු නිසාත්, සත්වයෙකුට අවශ්‍ය වෙන්නෙ කුමක්කිරීමද යන්න මනා සේ දන්න නිසාත්, තමන් විඳින තමන් සොයන ලෝකය පිළිබඳව යම් සත්වයෙක් සොයන්නෙ පර්යේෂණ මනසින් නොදත් දේ / සැඟවුණු දේ දැනගෙන ආස්වාදයක් විඳින්න උත්සාහ කිරීමට බවත් දැනගෙන, ඒක සසර පැවැත්මට හේතුවක් වෙන බවත් දැනගෙන, ඒවා නිෂ්ඵල බවත්, සෙවිය යුත්ත විතරක් සෙවීම ගැලවුම් මග බවත් දැනගෙන ඒ මග විතරක් දේශනා කළා.
අතැඹුලක් වගේ ලෝකය දැනගෙන හිටපු මහ ඉසිවරුන් විදිහට කටයුතු කළ අයටත් ඒ ලෝක තත්වයන් සෙවීමෙන් හෝ දැන ගැනීමෙන් හෝ ලැබුණ සැනසීමක් නම් නෑ. වෙලාවක නිගමනයකට බහිනවා, උදම් අනනවා, ලෝකයම දිනුවා වගෙයි හිතනවා, තව කෙනෙක්ව ප්‍රශ්න කරනවා, තමනුත් කල්පනා කරනවා, පැටලෙනවා, හරියි කියල නිගමනය කරගෙන හිටපු සම්මත මාලිගා කඩා බිඳ වැටෙනවා. එතකොට මම හරිය කියන මානය බිඳ වැටීම නිසාකම්පා වෙනවා. මහා බ්‍රහ්මයා ලෝකය පාලනය කරන බව හිතාගෙන හිටපු පෙර කාලයෙත්, අතැඹුලක් ලෙස ලෝකයත්, චක්‍රාවාට පිළිබඳවත්, ග්‍රහ තාරකාවල ගමන් වේග විපර්යාස ගැනත් මහත් වූ ලෞකික දැනුම ලබල හිටපු සෘෂිවරු පවා ඒ බ්‍රහ්ම සංකල්පය ඉක්මවන්න සමත් වුනේ නෑ, ද්‍රව්‍ය වස්තු විපර්යාසයන් හරියාකාරව දකින්න සමත් වුනේ නෑ.
බුදුන් වහන්සේ බ්‍රහ්මයන්ට දේශනා කරපු බණ බ්‍රහ්මයන්ට, දෙවියන්ට දේශනා කරපු බණ දෙවියන්ට, මනුස්සයන්ට දේශනා කරපු බණ මනුස්සයන්ට. ද්වතිංසාකාර භාවනාව (තිස් දෙකක් කොටස්වලට බෙදා බලන) දෙවියන්ටවත්, බ්රහ්මයන්ටවත් දේශනා කළේ නෑ. නමුත් දෙවියෙක් මනුස්සයන් ගැන හෝ මනුස්සයෙක් දෙව් බඹුන් ගැන හෝ ප්‍රශ්න කළොත් ඒ ගැන දේශනා කරල තියෙනවා. මහා මංගල සූත්‍රය මීට නිදසුනක්. ක්ෂණ භංගුරත්වය (යමක් හටගෙන බිඳෙන තෙක් කාලය ගැන මෙනෙහි කිරීම) පෙන්නුවේ සුදුසු විදිහට සුදුසු පරිදි. උදාහරණයක් විදිහට තමන්ගෙ ඇඳිවතේ ගෑවුණ මඩ පැල්ලම ඉවත් කරන්න දෙන බෙහෙත තමන් වගේ ඇඳිවත් අඳින අයට හොඳයි. මොකද ඒකෙ තිබුණෙ මඩ පැල්ලමක් විතරක් නිසා. නමුත් වාහන අලුත්වැඩියා කරන කාර්මිකයාට ඒකෙන් කිසිම ඵලක් නැත්තෙ, ඔහුගේ තෙල් කුණු තියෙන ගොමස්කඩ රෙද්ද හෝදගන්න ඒක ප්‍රමාණවත් නැති නිසා. මේ නිසා ඔහුට දිය යුත්තේ වෙනම රසායන බෙහෙත් අඩංගු රෙදි සෝදනයක්. නමුත් ඒ රසායනයෙන් අර කලින් කියපු තමන්ගෙ ඇඳිවතේ මඩ පැල්ලම් ඉවත් කරන්න බැරි නිසා ඒකෙන් තමන්ට වැඩක් නෑ. පෙර බුදු රජාණන් වහන්සේ වැඩ ඉන්න කොට සුදුසු පරිදි දහම් දේශනා කළෙත් ඒ නිසා.
භික්ෂු, භික්ෂුණී, උපාසක,උපාසිකා කියන මාගේ ශ්‍රාවකයන් අධර්මයක් දුටු තැන අධර්මය යටපත් කරල ධර්මය නගා සිටුවන්න දක්ෂ වෙනකල්, අවිනයක් දුටු තැන විනයෙන් කරුණු පෙන්වල අවිනය යටපත් කරල විනය නගා සිටුවන්න දක්ෂ වෙනකල් මම පිරිනිවන් පිරිණිවන් පාන්නෙ නෑ කියල බුදුන් වහන්සේ මාර දිව් පුත්‍රයාට දේශනා කරපු දේශනාව දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ පෙන්වා තියෙනවා. ඒ වගේම බුදු පියාණන් වහන්සේ ප්‍රජාපතී ගෝතමීන් වහන්සේට ධර්මය, විනය, සාස්තෘ සාසනය දැනගෙන අනුගමනයට අවවාද කළේ මේ විදිහට. “ගෝතමිය, තෙපි මේ දහම්හු, සරාගය පිණිස වැටෙති, විරාගයට නොවැටෙති. සංසාර සංයෝගයට වැටෙති, විසංයෝගයට නොවැටෙති. සසර වඩනට පවතිති, නොවඩනට නොපවතිති. මහිච්චතා (මහත් සේ කැමැත්තෙන් බැඳුණු) පිණිස පවතිති, අප්පිච්චතා (කැමැත්ත අල්ප) පිණිස නොපවතිති. අසංතුට්ඨිය පිණිස පවතිති, සංතුට්ඨිය පිණිස නොපවතිති. සංගණිකාව (පංචකාමයට එකතුවීම) පිණිස පවතිති, ප්‍රවිවේකය (විවේකය කරා නැවත නැවත පැමිණීම) පිණිස නොපවතිති. කුසීත භාවය පිණිස පවතිති, වීර්යාරම්භය පිණිස නොපවතිති. දුෂ්පෝෂණය පිණිස පවතිති, සුපෝෂණය පිණිස නොපවතිති යැයි යම් දහමුන් දන්නෙහිද, ගෝතමිය ඒකාන්තයෙන් මේ දහම නොවේ, මේ විනය නොවේ, මේ සාස්තෘ සාසනය නොවේ යයි දරව.”
“ගෝතමිය, තෙපි මේ ධර්මයෝ, විරාගයට වැටෙති, සරාගයට නොවැටෙති. විසංයෝගයට වැටෙති, සංයෝගයට නොවැටෙති. වට (සසර ගමන) වඩනට නොවැටෙති, නොවට (සසර ගමනින් මිදීම) වඩනට වැටෙති. අප්පිච්චතාවයට වැටෙති, මහිච්චතාවයට නොවැටෙති. සංතුට්ඨියට වැටෙති, අසංතුට්ඨියට නොවැටෙති. ප්රවිවේකයට වැටෙති, සංගණිකාවට නොවැටෙති. වීර්යාරම්භයට වැටෙති, කුසීතභාවයට නොවැටෙති. සුභරතාවට (යහපත් දේ දරා සිටීම) වැටෙති, දුභරතාවට (අයහපත් දේ දරා සිටීම) නොවැටෙතියි දන්නවු නම් ගෝතමිය ඒකාන්තයෙන් තෙල ධර්මය වේ, තෙල විනය වේ, තෙල සාස්තෘ සාසනය වේ යැයි දරව.” (අංගුත්තර නිකාය – 5 – 233 පිටුව – සංක්ෂිප්ත ගෝතමියෝවාද සූත්‍රය)
ඉහත කියපු ආකාරයෙන් ඒ ක්‍රමවේදය හැර වෙනත් විවිධ ක්‍රමවලින් බුද්ධ වචන හොයන්න ගියොත් මොකක් වෙයිද කියල හිතල බැලීම වටිනවා. “ආනන්ද මේ සිවුර වේලන්න, නවල තියන්න.” මෙහෙම කිව්වොත්, එහෙම නැත්නම් “ආනන්ද මට පිපාසයි පැන් ටිකක් ගේන්න” කියල කිව්වොත්, බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට වෙච්ච නිසා ඒක අහල නිවන් දකීවිද? එහෙනම් ධර්මය, විනය අප විසින් සොයාගත යුතු නිසා හොයන ක්‍රමය බුදුන් වහන්සේපෙන්වා දීල තියෙනවා. මේ ඒ කාලයේ සිද්ධ වෙච්ච තවත් හොඳ කතාවක්.
බුදුන් වහන්සේ ජීවමාන කාලයේ එක්තරා හිඟන්නෙක් ජේතවනාරාමය අසල වාසය කළා. මේ හිඟන්නා පසු කාලයක සාසනයේ මහණ වුනා. මහණ වෙන්න පෙර මෙහෙම හිතුවා. මට මහණ දම් පුරන්න බැරි වුනොත් මේ රෙදි ටික අරගෙන පරණ හිඟමනට බහිනවා. මෙහෙම හිතල මෙතෙක් කල් ඇඳගෙන හිටපු වැරහැලි රෙදි ටික ගස් බෙනයක සඟවල තිව්වා. මහණ වෙලා ටික කාලයක් ගතවුනා. මහණදම් පිරීම කරදරයක් විදිහට වැටහිලා නැවතත් කලින් වගේ හිඟා කන්න හිතාගෙන සිවුරු හැරල ගිහිවෙන අදහසින් ඇඳුම් හංගල තිබිච්ච ගස් බෙනය ළඟට ගිහින් ඇඳුම් ටික එළියට ගත්තා. ඒ රෙදිවල තිබිච්ච කිළිටි පුස් ගඳ දැනෙන කොට “මම කරන්නෙ මොන මෝඩකමක්ද? ආසාව, අසංවරය බලවත් වෙනකොට ආදීනව නොපෙනෙන හැටි!” මෙහෙම කියල නැවත හිඟන ජීවිතේ ගැන තිබිච්ච අදහස අත්හැරල ඇඳුම් ටිකගස් බෙනයටම ඔබල ජේතවනාරාමයට ගියා. භික්ෂුන් වහන්සේලා, ඇවැත්නි කොහි ගියේද කියල ඇහුවම, මම ගුරුවරයෙක් හමුවෙන්න ගියා කියල නිහඬ වුනා.
තවත් දවසක ඒ විදිහටම මහණදම් පුරන්න කම්මැලි වෙලා කලින් වගේම ගස් බෙනය ළඟට ගිහින් ඇඳුම් ටික ගත්තෙ හිඟන වෙස් අරගෙන සිවුරු හරින්න. ඒ පාරත් කලින් වගේම ඇඳුම්වල කුණු වෙච්ච පුස් ගඳ, පරණ හිඟන ජීවිතේ වින්ද දුක් ආදීනව සිහිවුනා. ආසාවන්ට වහල් වීමෙන් දුකට වැටෙන හැටි සිහිවෙලා නැවතත් ඇඳුම් ටික කලින් විදිහටම තියල ආරාමයට ආවා. එදත් ඇවැත්නි කොහි ගියේද කියල අනෙක් භික්ෂුන් වහන්සේලා ඇහුවම, ගුරුතුමා හමුවෙන්න ගියා කියල පිළිතුරු දුන්නා. මේ විදිහට තවත් ටික කාලයක් යනකොට, මට නම් මේ පැවිදි ජීවිතය අවශ්‍ය නෑ, සිවුරු හැරල කලින් විදිහටම හිඟා කකා නිදහසේ හැසිරෙනව කියල හිතල කැළය මැදින් ගස් බෙනය ළඟට ගිහින් ඇඳුම් ටික එළියට ගත්තා. පුස් බැඳිල දුර්ගන්ධව දවසින් දවස දිරකඩ වෙමින් තිබිච්ච හිඟන රෙදි කෑලි ඇහැ ගැටුණා. “දිරන වැනසෙන දෙයක හැටි! මුලාව නිසා දුකට හේතු වෙන දේ රැස්කරල දුක් විඳින හැටි! ලොකු දෙයක් අල්ල ගත්ත අයගෙ දුක ගැන මොනව කියන්නද? මේ ගොමස්කඩ වෙලා දුගඳ හමන හිඟන වැරහැලි ඇඳුම් ටික නිසා මම විඳින දුකක හැටි! දුක ලැබෙන්න ලොකු දෙයක් මොකටද?” මෙහෙම හිතමින්, මගේ මේ සන්තකයේ තියෙන දුක් දෙන වැරහැලි කඩමලු අදින් පසු මට දුක් දෙන්නෙ නෑ කියල ළඟපාත තිබිච්ච ඔයට ඇඳුම් ටික විසිකරල නැවත ගිහි නොවෙන හිතින් ආපසු හැරුනෙ උතුම් වූ රහත් ඵලයටත් පත්වෙලා.
එදත් ආපසු ආරාමයට ගියාට පස්සෙ භික්ෂුන් වහන්සේලා, ඇවැත්නි කොහි ගියේද කියල ඇහුවා. ගුරුතුමා බලන්න ගියා කියල එදත් පිළිතුරු දුන්නා. “ඔය කැළේ අපිත් දන්නවා. කවුද ඔය හැමදාම බලන්න යන ගුරුතුමා? කවුද එහේ ඉන්නෙ? අපිටත් පෙන්වන්න පුළුවන්ද ඔය ගුරුතුමා?” මේ විදිහට අනෙක් භික්ෂුන් වහන්සේලා ඇහුවම, අද මම ගුරුතුමා ගඟට විසිකළා කියල පිළිතුරක් ලැබුනා. භික්ෂුන් වහන්සේලා මේ කාරණය තේරුම් ගන්න බැරිව, මේ මොන අපරාධයක්ද කියල බුදුන්වහන්සේ හමුවෙන්න ගිහින් මේ සිදුවීම ප්‍රකාශ කළා. බුදුන් වහන්සේත්, ඒ භික්ෂුව ගරුතුමා හමුවෙන්න ගිය කතාව ඇත්ත බවත්, ගඟට විසිකළ කතාවත් ඇත්ත බවත් පෙන්වල, මාගේ පුත්‍රයා නැවත ගුරුතුමා හමුවෙන්න යන්නෙ නෑ කියල මේ පිළිබඳව දහම් දේශණා කළා.
යමක් ඇසුරු කරනකොට රාග ක්ෂය වෙනවද, ද්වේශ ක්ෂය වෙනවද, මෝහ ක්ෂය වෙනවද ඒ බුද්ධ වචනයක්, ඒ ගුරුවරයෙක්. බුද්ධ වචනය සොයා ගන්න බුදුන් වහන්සේ දහම් මගක් දේශනා කරල තියෙනවා. ඒ තමයි සතර මහාපදේශ.
- තථාගත වූ මම කී පළියට පිළිනොගන්න, ඉවත නොදමන්න.
- මාගෙන් අසාගත් කෙනෙක් කීවා කියා පිළිනොගන්න, ඉවත නොදමන්න.
- මාගෙන් අසාගත් කෙනෙක්ගෙන් දරාගෙන එන පිරිසක් කීවා කියා පිළිනොගන්න,ඉවත නොදමන්න.
- තථාගතයන් වහන්සේගෙන් අසාගත් කෙනෙකුගෙන් දරාගත් පිරිසකගෙන් හෝ වචන දැරුවේ යැයි කියා කෙනෙක් කීවත් පිළිනොගන්න, ඉවත නොදමන්න. (පරම්පරාවෙන් එන කතා, පොත පත, සෙල්ලිපි… ආදිය)
කරුණු විමසා බලමින් ධර්මයට බහා බලන කොට බහා හිටිනවනම්, විනයට සසඳන කොට සැසඳෙනවනම් පිළිගන්න.
ඒ තමයි තථාගත වචනය කියල දේශනා කළා. ඉතින් කෝ බහා බලන ධර්මය? සසඳා බලන විනය? මෙතැනදි ත්‍රිපිටක පොත් පෙළේ එන සූත්‍ර-අභිධර්ම පිටක පොත් ධර්මය විදිහටත්, විනය පිටකය විනය විදිහටත් ගැනීම නිවැරදිද කියල හිතල බැලීම වටිනවා.
“ඒවං මේ සුතං” මා විසින් මෙසේ අසන ලදී. සූත්‍ර පිටකයේ තියෙන්නෙ මේ විදිහට තියෙන සූත්‍ර. සතර මහාපදේශයන්ට අනුව තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය ආනන්ද හිමියන් විසින් ශ්‍රවණය කරල, උන්වහන්සේගෙන් අහල සංඝරත්නය විසින් ගෙනත් වනපොත් කරල ග්රන්ථාරූඩ කරල තියෙනව කියල, ඒ දහම මේකයි කියල සම්මත කරගත්ත උගතුන් විසින් ගෙනත් අපිට දැනගන්න ලැබුණ දෙයක් නෙවෙයිද මේ තියෙන්නෙ? එහෙනම් මේ දහම් බහා බලන්නෙ මොන ධර්මයටද? සසඳන්නෙ මොන විනයටද? දුන්න පලියට ගන්නෙ නැතිව පරීක්ෂා කරල බලල සිද්ධ වෙන හැටි කල්පනාවෙන් බලන්න ඕන.
උදාහරණයක් විදිහට, යම් දානපතියෙක් අසරණයන්ට අනුකම්පා කරල රත්රන් කැබලි ගෝනියක් කෙනෙකුට දුන්න කියල හිතමු. ඔහු ඒක තවත් කෙනෙකුට දෙනවා. ඒ අයත් තවත් සමූහයකට දෙනවා. මේ විදිහට අතින් අත බොහෝ දෙනෙක්ගෙන් ගේනකොට, හතුරන් කණ්ඩායමක් පසුපස එනව දැකල ඒවා කුඩා කුඩා මිටිවලට බඳිමින් තැන තැන තියමින් බිමවිසුරුවමින්, පසුව ගිහින් නැවත එකතු කරමින් ගේනව කියල හිතමු. දැන් තවත් කෙනෙක් මේවා නැති නොවෙන්න කියල අටුවෙ හංගනවා. රත්රන් කැබලිවල දුම් කාරමත් බැඳෙනවා. තවත් කෙනෙක් ඒවා වළලනවා. මඩ කහට බැඳෙනවා. තවත් කෙනෙක් ගින්නට දමනවා. ලිපේ වළලනවා. නැවත එකතු කරල පොදි බඳිනවා. මේ විදිහට නැවත සන්සුන් වුනාම සියල්ල එකතු කරනවා. රත්රන්වල හැටි අහල දැනගෙන තිබිච්ච අය හොයල බැලුවම ඒ කැබලි වෙනස්. ඒවා ඉවත් කරල තව හොයනවා. සතුරු කණ්ඩායම ඒවා රත්රන් බව වටහාගන්න බැරිව වෙනත් කටයුතු සඳහා යොදවනවා.
නැවතත් කෙනෙක් රත්රන් කියල සමාන වර්ණ තියෙන ලෝහ ඒකට එකතු කරනවා. මේ විදිහට නැවත රත්රන් කියල තැන තැන තිබිච්ච සියල්ල එකතු කරනවා. දැන් තියෙන්නෙ එදා පළමු දානපතියා දුන්න රත්රන්ම නොවෙන්නත් පුළුවන්. ඒ රත්තරන්වලිනුත් බොහෝ කොටසක් හෝ සුළුවෙන් හෝ තියෙන්නත් පුළුවන්. පරීක්ෂා කරන කෙනෙක් උරගා බලල සුදුස්ස සොයා ගන්නවා. රත්රන් කැබලි තිබිච්ච ගොඩේ තිබුණත් උරගා බලන කොට අහුවෙන්නෙ නැත්නම් පැත්තකට කරනවා. ලැබුණ කොටසින් නියමිත ක්‍රමවේද මෙහෙයවල ආභරණ හදනවා. උරගා බලන්න පුළුවන් වුනත් රත්රන් නිෂ්පාදනය කරන්න බෑ. ඒ රත්රන් සමූහය මහා දානපතියාට සත්රුවනේ නිධානයකින් ලැබිච්ච ඒවා නිසා, ඒ නිධාන නැති අනික් අය කරන්නෙ, දීල තියෙන රත්රන්වලින් ආභරණ තැනීම. දීල තියෙන රත්රන් උරගා බලල හඳුනාගෙන ප්‍රයෝජනයට ගන්නව මිසක් පාට තිබිච්ච පළියට ලෝහ එකතු කරල නිපදවන්න ගියොත් රත්රන් වගේ සරුව පිත්තල තමයි ලැබෙන්නෙ. ඒක භයානකයි. උරගා බලන හැකියාව තිබුණ නිසාම රත්රන්වල වටිනාකමත්, ආභරණවල සුදුසු බවත් ලැබීමෙන් ප්‍රයෝජනය හරි හැටි ගන්න පුළුවන්. ධර්ම රත්නයත් මේ විදිහට තේරුම් අරගෙන කල්පනා කරල බලන්න ඕන. උරගා බලන ක්‍රමය අදටත් නොනැසී පවතිනවා. බුද්ධිවන්තව හොයල බැලුවොත් ඒ බව වැටහේවි.
බුදුන් වහන්සේ දවසක් එක්තරා ගමකට වැඩියා. ඒ ගමේ හිටපු මිනිස්සු උන්වහන්සේ වැඩිය බව ආරංචිවෙලා එතැනට රැස් වෙලා මෙහෙම කිව්වා. “ස්වාමීනී, මේ ගමට නොයෙක් අවස්ථාවල මහණ බමුණො එනවා. ඒ අයගෙන් කෙනෙක් අපට දහම් මග දේශනා කරනවා. ඉන් පසු තවත් කෙනෙක් එනවා. ඒ අයට කලින් අහපු දේශනාව ගැන කියන කොට, ඒ දේශනාව වැරදියි, මේකයි හරි කියල ඒ අයගෙ දේශනාව කියනවා. එන එන සියලු දෙනාම මෙහෙම කියන නිසා අපි තීරණයකට බැස්සා. ඒ කියන්නෙ කිසිම කෙනෙක්ගෙන් මත අහන්නෙ නැතිව අපිට තේරෙන හැටියට කරමු කියල. මේ තමයි අපේ අදහස.” ගම්වැසියන් මෙහෙම කිව්වම, තම තමන් ගත්ත මග නිවැරදි බවත් පවසමින්, මම අහන දෙයට පිළිතුරක් විතරක් දෙන්නයි කියල බුදුන් වහන්සේ දේශනා කළා. ඒ කාරණය පිළිගත්ත ගෘහපතිවරු, එසේය ස්වාමීනි කියල ඉඳ ගත්තා.
ගැහැවියනි, නුඹලාට හරියි කියල වැටහෙන, හේතු සහිතව හරි බව පෙනෙන විදිහට උත්තර දෙන්න කියල මේ විදිහට ප්‍රශ්න අහනකොට ඒ අයත් පිළිතුරු දුන්නා.
යමෙක් නුඹලාව නසනව නම් නුඹලා කැමතිද? නෑ ස්වාමීනී, අපි කැමති නෑ.
එහෙනම් නුඹලාට හිංසා පීඩා කරනව නම් නුඹලා කැමතිද? ඒත් නෑ ස්වාමීනී.
හොඳයි අන් අයෙක් ඔවුන්ව නසනව නම්, ඔවුන්ට හිංසා පීඩා කරනව නම් ඔවුන් කැමති වෙයිද? නෑ ස්වාමීනී. ඒ ඇයි අකමැති වෙන්නෙ? හොඳ වැඩක් නිසාද නරක වැඩක් නිසාද?ස්වාමීනි නරක වැඩක් නිසා.
නුඹලාට සිදුවෙනවට අකමැති, අනිකෙකුට සිදුවෙනවට ඒ අයත් අකමැති දෙයක් යමෙක් අනුන්ට කරනව නම් ඒක හොඳද නරකද? නරකයි ස්වාමීනී.
ඒක කළොත් සුචරිතයක්ද දුශ්චරිතයක්ද? දුශ්චරිතයක් ස්වාමීනී.
ඒ දුශ්චරිතය කළොත් හොඳක් වෙයිද නරකක් වෙයිද? හොඳක් නම් නෑ, නරකක්මයි ස්වාමීනි.
එහෙනම් ඒ දුෂ්චරිතය කරනවද නොකරනවද කියල තීරණය කියන්න. කරන්නෙ නෑ ස්වාමීනී.
මේ ආකාරයෙන් ප්‍රාණ ඝාතය, අදත්තාදානය, කාමමිච්ඡාචාරය සහ මුසාවාද අකුසල් ගැනම දේශනා කරල, මේ දහම ගැන නුඹලාගේ අදහස මොකක්ද කියල ඇහුවා. ඉතා යටහත් වූ ඒ ගැහැවියන්, ස්වාමීනී, ඔබ වහන්සේම නියම දේශකයාණන් වහන්සේ වුනා, අපටම තේරෙන වැටහෙන දහම් දේශනා කරන ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ මාර්ග උපදේශකයාණන් වහන්සේ විදිහට පිළිගන්නවා” කියල ප්‍රසංසා කරල උපාසකයන් වූ බවත් ධර්මයේ සඳහන් වෙනවා. (අං.නි. 1 – 336 පිටුව – කාලාම සූත්‍රය)
මෙතැනදි අපිත් ඒ කාරණය පිළිගන්නෙ පොතේ තිබිච්ච නිසා නෙවෙයි. ඒ දහම ඇත්ත ක්‍රමයක් බවත්, බුද්ධි ගෝචර දහමක් බවත්, හේතුඵල දහමක් බවත් පෙනෙන නිසා. දැන් මෙතැන ධර්මයට බහා බැලීම මොකක්ද? නරකක් වෙන්කර දැනගෙන නරක දෙයින් නරකක් වෙන බව දැන ගැනීම. විනයට බහා බැලීම කියන්නෙ, ඒක අනුගමනය දහමට අනුව කරන කොට ඇතිවන හික්මීම, හික්මීමට හේතුවන බව දැනීම. යමෙකුට ත්‍රිහේතුක පටිසන්ධියක් (අලෝභ, අද්වේශ, අමෝහවලින්) තියේ නම් ඒ පුද්ගලයට මේ දහම් රටාව හොයන හැටි, විනය පිළිවෙත හොයන හැටි ඉතා හොඳින් වැටහෙන්න ඕන. එහෙම වැටහෙනව නම් භේදයක්කොයින්ද? තියෙන්නෙ සමගිය. කටයුතු හොඳ නිසා ඒ තමයි නියම ප්‍රතිපත්ති දහම. අනුකූල පිළිපැදීම නිසා ඒ තමයි සංවරය. යමෙක් මේ මග බුද්ධිවන්තව ගන්නව නම්, අතීතයේ යමෙක් සංවර බව, විනය පිළිවෙත ලැබුවද මේ විදිහට ලැබුව මිසක් වෙනත් මගකින් නොවන බවත් දැන ගන්නවා. මගඵල ලබනවද, මේ මගින් මිසක් වෙන මගකින් නොවන බවත් දැන ගන්නවා. දැහැන් ලබනවද මේ මගින් මිසක් වෙන මගකින් නොවන බවත් දැන ගන්නවා.
පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර තෙරුන් වහන්සේ විසින් යළි මතු කළ සැඟවුනු දහම් කරුණු ඇසුරෙන් සකස් කළේ:
නීතිඥ චන්දන සිරිවර්ධන