සමාධිමය අත් බෙහෙත්…

hbp-01-11.png

වහරක අභයරතනාලංකාර හිමියන් ගිහි වතක සිටියදීත්, සමහර අවස්ථාවල ඉන් පසුවත්, ලෝක සත්ත්වයා කෙරෙහි දයානුකම්පාවෙන් ගිලානප්‍රත් කටයුත්තක් වශයෙන් සලකා බෙහෙත් සමාධියෙන් මතුකර දුන්, කිසිදු අතුරු ආබාධයකින් තොර ප්‍රත්‍යක්ෂ වටිනා බෙහෙත් කිහිපයක් පහතින් සටහන් කරනවා. මේ සියලු බෙහෙත් ඒ ඒ පුද්ගලයන්ගේ කර්ම ශක්තීන්ට යටත්ව ප්‍රත්‍ය වෙන බවත් සලකන්න.

පපුවේ සෙම ඉතිරිවී පිට නොවීම, පෙනහළුවල ඇදෙන සුළු බව අඩුවීම, බඩේ අජීර්ණ ආදිය සඳහා

පළමුව හොර ගහේ හොර කුරුල්ලෙකුගේ ඇට වේලගෙන පිටි කරගන්න. ඉන්පසු පිරිසිදු එළඟිතෙල්වලින් චූර්ණ පදමට අඹර ගන්න. අමු බෙලි කොළ හතක් නැටි ඉවත් කරල අරගෙන ඒවායේ උඩ පැත්තේ හෙවත් කොළය ගහට සවිවෙලා තියෙන ආකාරයට ගත්තම, කොළයේ මතුපිට දිලිසෙන පැත්තේ ආලේප කරන්න. දැන් මේ කොළ හතේ නැටි තිබුණ පැත්ත පහළට හිටින විදිහට තුනටිය දිගේ / කොඳු නාරටිය දිගේ පහළ සිට ඉහළට අලවන්න. එහා මෙහා යන්න පුළුවන් නිසා ආසාත්මික නොවන වර්ගයේ ප්ලාස්ටරයක් මතුපිටින් අලවන්න. මේ විදිහට හවස හයට අතුරල උදේ හයට ඉවත් කරල අයිස් වතුරෙන් හෝදන්න. ඒ විදිහට දින තුනක් හෝ සුව වෙනකල් කරන්න. එක වතාවකට බෙලි කොළ හත බැගින් වෙන වෙනම ගත යුතුයි. මේ මගින් පෙනහැල්ලේ, පපුවේ බැඳිල තියෙන සෙම හා බඩේ අජිර්ණ පවා සුව වෙලා පෙනහළු ප්‍රකෘතිමත් වෙනවා.

මේ බෙහෙත හදාගන්න ඉතාමත් පහසුයි. ලොකු වියදමක් වෙහෙස මහන්සියක් යන්නෙත් නෑ. ඉතාමත් කෙටි කාලයක් තුල හදාගන්න පුළුවන්. සාමාන් යෙන් එක බෙලි කොළයකට තේ හැඳි භාගයක විතර පිටි අවශ්‍ය නිසා, කොළ හතටම එක වතාවකට තේ හැඳි තුනහමාරක් විතර තමයි අවශ් වෙන්නෙ. හොර කුරුල්ලන්ගෙ ඇටත් විවිධ ප්‍රමාණවලින් තියෙනවා. සාමාන් යෙන් ලෙලි ගහපු කරුංක ගෙඩියක් තරම් හොර ඇට හත අටකින් පිටි තේ හැඳි හත අටක් විතර හදාගන්න පුළුවන්. ඇට ටික අරගෙන වේලගෙන මිශ්‍රණ යන්ත්‍රයකින් හෝ ඇඹරුම් ගලකින් හෝ කුඩුකර ගත්තම බොහොම පහසුවෙන් පිටි බවට පත්කර ගන්න පුළුවන්. හරියට කුරහන් පිටි වගේ. නමුත් ඊට වඩා තද පාටින් යුක්තයි. හොඳට වේලුනාට පස්සෙ තමයි පිටි වෙන්නෙ. වැඩිපුර ප්‍රමාණයක් පිටි බවට පත්කරගෙන හුළං නොවදින්න ඇසුරුම් කරල කාලයක් තියාගන්නත් පුළුවන්.

හැබැයි හොර කුරුල්ලා ගහෙන් වැටුණ විගසම ගන්න ඕන. මොකද නැත්නම් බොහොම කෙටි කාලයක් තුළ නරක් වෙනවා. ගෙඩිය උඩට හිටින්න වැටුනම වැස්සට පින්නට වතුර ඇතුලට ගිහින් ඉතා ඉක්මනට පුස් කන්න බලනවා, නරක් වෙනවා. ඒ වගේ නරක් වෙච්ච ඒවා මේ බෙහෙතට යොදා නොගන්න විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා හොඳම දේ තමයි, බිමට වැටිච්ච විගසම අහුලගෙන ඇට ටික ගලවගෙන වේලා ගැනීම. එහෙම නැත්නම්, වේලිච්ච ස්වභාවය එනකොට ගහේ තියෙද්දිම කඩාගන්න පුළුවන් නම් වඩා හොඳයි. එහෙමත් නැත්නම් සමහර අවස්ථාවල මේ හොර කුරුල්ලො පොත් සාප්පුවලත් ඇසුරුම් කරල පාසල් ළමයින් වෙනුවෙන් විකුණන්න තියෙනවා. හැබැයි ඒ විකුණන්නෙ බාහිර ස්වරූපය දැකබලා ගන්න නිසා, ඒවායේ ඇට නරක් වෙලා තිබීම ඒ අයට ගැටළුවක් නොවන නිසා, ඒවායෙත් බොහොමයක් ඇට නරක් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා පොත් සාප්පුවලින් මිලදී ගන්නව නම්, ඉස්සෙල්ලම හතරක් පහක් අරගෙන කඩල බලල හොඳ නම් විතරක් තෝරගන්න. ඒ වගේම සමහර සිංහල බෙහෙත් බඩු වෙළඳසැල්වලත් වියලි හොර ඇට මිලදී ගන්න තියෙනවා. ඒත් අර වගේ පරික්ෂා කරල බලල හොඳ තත්වයේ පවතිනව නම් විතරක් මිලදී ගන්න. ඒ නැතත් වලපනේ, නාවලපිටිය, අකුරැස්ස, දෙනියාය, ගාල්ල, ඉංගිරිය, පාදුක්ක, පූගොඩ… ආදී බොහොමයක් තෙත් කලාපීය ප්‍රදේශවලින් පහසුවෙන් මේ හොර කුරුල්ලන් හොයාගන්න පුළුවන්.

මේ බෙහෙත පාවිච්චි කිරීමෙන් ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල අත්කරගත්ත මහත්මයෙක් තමන්ගෙ අත්දැකීම මේ විදිහට විස්තර කළා.

මගේ පෙනහැල්ලෙ තුවාලයක් තිබුණා. ඒක සෙම නිසා හටගත්තු එකක්. විටින් විට තුවාල වෙලා ලේ එනවා. විශේෂඥ වෛද්‍යවරුන්ට පෙන්නුවම ස්කෑන් කරල බලල සැත්කමක් කරන්න කියල තමයි නිර්දේශ කළේ. මම ඒකට කැමති වුණේ නෑ. වහරක හාමුදුරුවො මතු කරල දුන්න මේ බෙහෙත හදාගෙන පළමු කොටස බුද්ධ පූජාවට තියල දෙවන කොටස වහරක හාමුදුරුවන්ගෙ නමින් පූජා කළා. ඊටත් පස්සෙ තමයි මම මේ බෙහෙත පාවිච්චි කරන්න පටන් ගත්තෙ. ඒ පාවිච්චි කරනකොටත් වහරක හාමුදුරුවන්ගෙ ගුණ සිහි කරලයි පටන් ගත්තෙ. ඔය විදිහට එක දිගට මාස තුනක් කරල නැවතත් පරීක්ෂණවලට සහභාගි වෙලා ඒ වාර්තා අරගෙන වෛද්‍යවරුන්ට පෙන්නුවා. වෛද් වරුන්ටත් පුදුමයි. ඒ අයටත් තෝරගන්න බෑ කොහොමද සුව වුනේ කියල. අන්තිමට සැත්කම නොකෙරෙන තැනට ආවා. කවුරුවත් විස්වාස කළේ නෑ මේ වගේ බෙහෙතකින් සුව වෙයි කියල. නමුත් මම ඒ බෙහෙතෙන් ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ගත්ත කෙනෙක්.

ඇදුම, හතිය, පෙනහැල්ලේ බැඳී ඇති සෙම, කල්ගිය අජීර්ණ සඳහා

මේ සඳහා පිරිසිදු අමු එළු බෙටි අවශ්‍යයි. ඒ කියන්නෙ පරණ නොවුන අලුත් ඒවා විය යුතුයි. ඒ විදිහට ලබාගත්ත එළු බෙටි, වැලි දූවිලි ආදිය තැවරිලා තියේනම් ඉවත් කරල, දෙහි ඇඹුලෙන් අඹරගෙන කෝපි ගෙඩි පමණට ගුලි කරල මඳ අව්වෙ තෙත ගතිය හිඳෙන මට්ටමට වේල ගන්න. උදේ, රාත්‍රී 1 බැගින් කෑමට පසු මාස තුන හතරක් විතර නොකඩවා ගන්න. සම්පූර්ණයෙන් සුව වෙනවා.

එළු බෙටිවල තනිකරම වගේ තියෙන්නෙ ශාක වර්ගවලින් එන පෝෂණය. හරි පහසුවෙන් හදාගන්න පුළුවන් බෙහෙතක්. සමහරු ඇදුමට, සෙමට හොඳයි කියල ගෙවල්වල එළුවෙක් දෙන්නෙක් ඇතිකරන අවස්ථාත් තියෙනවා. හැබැයි මේ බෙහෙත හදාගන්නකොට ගම්වල නිදැල්ලෙ ස්වභාවිකව හැදෙන කොළ වර්ග කකා ඇවිදින එළුවන්ගෙ බෙටි ගන්න පුළුවන්නම් තමයි වඩාත් හොඳ. මොකද නාගරිකව වාණිජමය වශයෙන් හදන ගොවි පොළවල්වල එළුවන්ට දෙන කෘතීම ආහාර වර්ග නිසා ඒ එළු බෙටිවල තියෙන ඖෂධීය ශක්තිය යම් කිසි විදිහකින් අඩුවෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ස්වභාවිකව හැදෙන එළුවන්ගෙ බෙටි ලබාගන්න උත්සාහ කරන්න.

මේ බෙහෙත සම්බන්ධයෙනුත් කලින් සඳහන් කළ මහත්මයාට හොඳ අත්දැකීමක් තියෙන නිසා ඒ ගැන මේ විදිහෙ විස්තරයක් කළා.

පපුවෙ සෙමට මේ බෙහෙත විශේෂයි. මගේ පපුවෙ බොහොම තදට තිබිච්ච සෙම මේ බෙහෙත ගන්නකොට හුඟක් අඩු වුණා. ඒ වගේම හතියත් අඩු වුණා. බොහොම ප්‍රතිඵලදායකයි. දවසක් වහරක හාමුදුරුවො එක්ක කතා කරනකොට උන්වහන්සේ තමයි කිව්වෙ මට මෙන්න මෙහෙම පෙනහළු ආබාධයක් තියෙනවා, ඒකට බෙහෙත් කරගන්න කියල. ඉතින් මට ඒ විපාකයට හේතුව පුද්ගලිකව අහගන්න බැරි වුනත්, දවසක් සාකච්ඡාවකදි කියවුනා, ඒ සඳහා පොදුවේ හේතු වන කර්ම වේගයක් ගැන. ඒ තමයි ඉත්තෑ ගෙවල්වලට දුම් ගැසීම. ඉත්තෑවො අල්ල ගන්න උන්ගෙ ගෙවල්වලට දුම් ගහනකොට එක ගුලක් ඇරල අනික් සියල්ලටම දුම් ගහනවා. එතකොට අර ඇරල තියෙන ගුලෙන් ඉත්තෑවො එලියට පනිනකොටම මිනිස්සු ගෝනියක් දාල ඒ සතාව අල්ල ගන්නවා. දුම් ගැහුවම තනිකරම ඒ සතාගෙ පෙනහළු තමයි හුස්ම ගන්න බැරිව ආසාදනය වෙන්නෙ. එතැනදි ඉත්තෑවන්ට අමතරව ඒ ගුල්වල ඉන්න තවත් පොඩි පොඩි සත්තුත් ඒ හේතුවෙන් මැරෙනවා. පෙනහළු ආශ්‍රිත අසනීප හැදෙන්න ඔය කාරණයත් හේතු වෙනව කියල වහරක හාමුදුරුවො ඒ සාකච්ඡාවෙදි කිව්වා. ඊට අමතරව සසරෙදි කරපු තවත් නොයෙක් කර්ම වේග හේතු වෙන්න පුළුවන්.

ඔය විදිහට මම ඒ රෝගයේ පොදු හේතුවක් දැනගත්තම, මේ බෙහෙත් ගන්න අතර හැමදාම පුන්‍යානුමෝදනාවකුත් කරනවා. ඒ කියන්නෙ මේ සසර ගමන එනකොට මේ වගේ විපාකයන්ට මම අකමැති වුනත් මට මෙහෙම රෝගයක් ඇවිත් තියෙනවා. සසර ගමනෙදි මගෙන් අන් සතුන්ට අවැඩ අසාධාරණ සිද්ධ වෙලා තියෙනවා. ඒක මම නිවැරදි කරගන්න ඕන. එතකොට තමන්ගෙ අසනීපය සුව කරගන්න කියල නෙවෙයි, ඒ අසාධාරණයට වන්දි ගෙවල නිදහස් වෙන්න, ඒ වැරැද්ද නිවැරදි කරන්න, සසර පුරාවටම කරපු පුන් කර්ම ඒ වැරදි අසාධාරණයන්ට ලක්වෙච්ච සතුන්ට පොදුවේ අනුමෝදන් කරනවා. වහරක හාමුදුරුවො කිව්වට පස්සෙ, පුළුවන් හැම අවස්ථාවකම ඒ කාරණය සිහිපත් කරල කෙටියෙන් අනුමෝදන් කරල තමයි මම ඒ බෙහෙත් පාවිච්චි කළේ. ඒ නිසා මගේ අත්දැකීම තමයි, මේ රෝග සනීප වෙන්න බෙහෙත්වලට අමතරව සාසනික වත්පිළිවෙත් අවශ් මයි කියන කාරණය. එහෙම නැත්නම් ලේසියෙන් හොඳ වෙන්නෙ නෑ. මොකද මේ වගේ රෝග කර්මය මුල් වෙලාමයි හටගන්නෙ.

ඒ නිසා බෝධි පූජාවක් කළත්, ලෙඩ සුව වීමේ අරමු ණින් නෙවෙයි කළේ. යම් කිසි කරපු කර්මයක විපාකයක් ඇවිත් තියෙන නිසා ඒ වැරැද්ද නිවැරදි කරල වන්දි ගෙවල නිදහස් වෙන්න කියන අදහසින්මයි කළේ. මොකද අසනීපය සුව කරගැනීමේ අරමුණින්ම කළොත්, එතැනදි තමන්ගෙ වැඩේ කරගන්න අදහස මිසක්, අර වෙච්ච අසාධාරණයට වන්දි ගෙවන අදහසක් එන්නෙ නෑ. ඒ වගේම, එහෙම ලෙඩේ සුව වෙන්න කියන අදහසම ගත්තම ඒකෙන් සුව නොවුනොත්, කෙනෙක් වැරදි වැටහීමක් ඇතිකර ගන්න පුළුවන්, සාසනික වත්පිළිවෙත්වලින් වැඩක් වුනේ නෑ කියල. ඉතින් මගේ අත්දැකීම තමයි, ඒ අදහස අරගෙන කැපවීමෙන් සාසනික ප්‍රතිකර්මත් කරන ගමන් මේ බෙහෙත් පාවිච්චි කළොත්, කර්ම විපාකත් ගෙවිල ඒ වගේ කර්මජ රෝග පවා පහසුවෙන් සුව කරගන්න පුළුවන් කියන කාරණය.

මේ කාරණය වහරක හාමුදුරුවො ගිහි වතේ ඉඳගෙන බෙහෙත් හේත්, ප්‍රතිකර්ම ආදිය කරනකොටත් අනුගමනය කරල තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ කාලයට ගැලපෙන විදිහට, එදා ඒ පිහිට බලාපොරොත්තුවෙන් පැමිණි පින්වතුන්ගේ දැනගැනීම පිණිස උන්වහන්සේ විසින් තබන ලද සටහනක් පහතින් සඳහන් කෙරෙනවා. ඒ අනුසාරයෙන් අදත් ඒ විදිහෙ සාසනික ප්‍රතිකර්ම සිද්ධ කරල කර්මවේග ගෙවා ගන්න පින්වතුන්ට පුළුවන්.

”මෙම ස්ථානයෙන් පිහිට බලාපොරොත්තුවෙන් පැමිණෙන පින්වතුන්ට විශේෂයෙන් දැනගැනීම සඳහායි. මෙහි සෑම ප්‍රතිකර්මයකටම පින සහ කුසලය ප්‍රධාන වේ. එම පුන්‍ය ශක්තිය සහ කුසල ශක්තිය ලබාගැනීමට පූජා තැබීමත්, සීල සංවරයත් අත්වශ්‍ය වෙයි.

පූජා තබන පිළිවෙල

පළමුව දොලොස් මහේ පහනට පොල්තෙල් බෝතල් භාගයක් පූජා කළ යුතුයි. බුද්ධ පූජාව සදහා ප්‍රමාණවත් නොඉඳුල්ව උයාගත් බත් මුලක්ද, අතිරේක වශයෙන් බත් මුල් තමන්ට හැකි ප්‍රමාණයක්ද, පළතුරු, කැවිලි, දැහැත්, බෙහෙත් ඖෂධ, තැඹිලි යන මේවායින් තමන්ට හැකි විදිහකට පූජාව සඳහා රැගෙනවිත් සෙත ශාන්තිය වර්ධනය කරගෙන සැ නසෙන්න.”

ඒ දවස්වල සෙනසුරාදා විශේෂ සෙත් ආශිර්වාද බුද්ධ පූජා තුනකට සහභාගි වුණාට පස්සෙ තමයි කෙනෙකුට බෙහෙත්හේත් ප්‍රතිකර්ම ආදිය ලබා දීල තියෙන්නෙ. මොකද කර්ම දෝස ගෙවාගෙන සාසන ගුණයට ඇතුල් වෙලා බෞද්ධත්වය තුල කටයුතු කරනකොට අපල උපද්‍රව දුරුවෙලා ලෙඩ රෝග සුව වෙන්න හේතු වෙනවා.

ඒ වගේම එදා සියළු දෙනාම රැගෙන එන නොඉඳුල් බත් මුල් සහ පළතුරු කැවිලි තැඹිලි ආදියේ අග්‍ර කොටස වෙන් කරල බුද්ධ පූජාවට තියනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ඖෂධ වර්ග බුද්ධ පූජාවට විතරක් තියල, පළතුරු කැවිලි දැහැත් තැඹිලි ආදියේ ඉතිරියත්, අතිරේක බත් මුල් සියල්ලමත් සමග එකට තියල සෙත් කරල සියළු දෙනාටම ආශිර්වාද කරල ඒවායේ මුල් කොටස සහභාගි වෙච්ච භික්ෂූණ් වහන්සේලාට පිරිනමනවා. ඊළඟට ගුණවතුන්ට සහ අනෙක් පිරිස වෙනුවෙන් නිදහස් කරනවා. ඉතින් පිරිස තමන්ට පුළුවන් විදිහට බත් මුල් වශයෙන් හෝ වෙනත් භාජනවල අසුරල හෝ පහසු විදිහට ගෙනත් පූජාවට සම්බන්ධ කරන සරළ ක්‍රමවේදයක් තමයි එදා තිබිල තියෙන්නෙ.

ආහාර රුචිය සඳහා

එළු බෙටිවලින් හදන තවත් ප්‍රත්‍යක්ෂ බෙහෙතක් තමයි මේ. හැබැයි මේ බෙහෙතට යොදා ගන්නෙ වියලි එළු බෙටි. වියලි එළු බෙටි ග්‍රෑම් 500 ක් පැය භාගයක් විතර වණ්ඩුවේ තම්බගෙන, බ්‍රැන්ඩි මිලි ලීටර 150 යි, පිරිසිදු පොල් විනාකිරි මිලි ලීටර 150 යි එකතු කරල අඹර ගන්න. (වතුර මදි නම් උණු වතුර නිවාගෙන අවශ්‍ය පමණට එකතු කරගන්න.) කෝපි ගෙඩි පමණට ගුලි කරගෙන හෝ ඒ ප්‍රමාණයම පෙති විදිහට හෝ හදාගෙන වේල ගෙන උදේ, දවල්, රාත්‍රී ආහාරයට පැය කාලකට පෙර 1 බැගින් සති තුනක් ගන්න. ආහාර රුචිය වැඩෙනවා.

ගෙල වේදනා සමන චූර්ණය

වියලි වෙනිවැල්ගැට කිලෝ 3 යි. පෙරුම්කායම් කුඩු ග්‍රෑම් 250 යි. කූඩලු දෙහි ඉස්ම බෝතල් භාගයක් (½) හෝ තිප්පිලි කුඩු ග්‍රෑම් 125 ක් දැමූ දෙහි ඇඹුල් බෝතල් භාගයක් (½), අමු මුරුංග මුල් කිලෝ 1 යි, පැලපී ඉස්ම බෝතල් 2 යි, කළු වෙන්න පුච්චා ගත් / බැද ගත් පොල් කිලෝ 2 ක් හෝ කළු වෙන්න බැද ගත් පුන්නක්කු කිලෝ 2 යි, තල් සූකිරි කිල‍ෝ 5 යි, අමු බෙලි ගෙඩි කිලෝ 6 ක් වණ්ඩුවේ තම්බගෙන බෙලි මදය මඳ උණු වතුර අවම ප්‍රමාණයකින් මිරික ගෙන රොඩ්ඩ ඉවත් කිරීමෙන් පසු එන දියරය. (ඉදිච්ච බෙලි ගෙඩි නම් තම්බා නොගෙන මදය අරගෙන නිවාගත් උණු වතුර අවම ප්‍රමාණයකින් මිරික ගන්න). වතුර වැඩි වුනොත් බස්සව ගන්න හුඟක් වෙලාව යන නිසා පුළුවන් තරම් වතුර අඩුවෙන් එකතු කරන්න.

වෙනිවැල් ගැට කුඩු කරල පෙනේරයකින් හලාගෙන, මුරුංග මුල් ටිකත් සිනිඳුවට අඹරගෙන සියල්ල හොඳින් මිශ්‍ර කරල තැඹිලි වතුර බෝතල් හතරකුත් එකතු කරල මිශ්‍ර කරල ලිපේ තියල රත් කරල චූර්ණ පදමට ආවම බාගන්න.

චූර්ණයෙන් මේස හැඳි භාගයක් (½) උදේට, හවසට, රාත්‍රී නින්දට පෙර අරගෙන වතුර ටිකක් බොන්න. ඒ විදිහට මාස එකහමාරක් පමණ ගැනීම ප්‍රමාණවත්.

මේ මගින් පිටියුටරි, තයිරොයිඩ් ග්‍රන්ථි නිරෝගි වෙනවා. බෙල්ලේ, පපුවේ සෙම් හිර ආබාධ දුරු වෙනවා. ලේ නහර ප්‍රකෘතිමත් වෙලා ගෙල වේදනා සමනය වෙනවා. අතපය, කොන්දෙ කැක්කුම, තුනටියේ ආබාධ දුරු වෙනවා.

ඇහැල අරිෂ්ටය

ඇහැල ගහේ කොළ, දළු, මල්, මුල්, පොතු අමු බරින් ග්‍රෑම් 375 බැගින්, නෙල්ලි, පෙති පුවක්, හීන් උඳුපියලි වියලි බරින් ග්‍රෑම් 125 බැගින්. මේවා ටාගෙන වතුර බෝතල් 15 ක් එකතු කරල 12 ට හිඳගෙන පෙරා ගෙන, සම්පූර්ණයෙන්ම නිවුනට පසු පිරිසිදු මී පැණි මි. ලී. 312 ක් සහ පිරිසිදු කිතුල් පැණි මි. ලී. 1187 ක් දමා දින 21 ක් තියල අරිෂ්ට කර ගන්න.

උදේ, දවල්, රාත්‍රී ආහාරයට පෙර මේස හැඳි එකහමාර බැගින් මාසයක් පමණ ගන්න. මේ මගින් නින්ද නොයාම, නිදිමත ගතිය, ඇස්වල කන්වල ආබාධ, උගුර කට වේලීම සුව වෙනවා. උණ ආබාධ සුව වෙනවා.

ස්නායු වැඩීමට හිසට දැමීම සඳහා තෙලක්

ඉඟිනි ඇට, පත්පාඩගම්, පිච්ච මුල්, කොහොඹ පොතු, කොහොඹ දළු එකකින් කලං 8 බැගින්, පිරිසිදු තලතෙල් බෝතල් භාගයයි (½), පිරිසිදු පොල්තෙල් බෝතල් 1 යි දමා හි ඳෙන කොට සූදුරු, කරපිංච, පෝට ගෙඩි, බැවිල මුල් කලං 1 බැගින් අඹරගෙන තෙලටම දමා සම පාකයට හිඳගන්න. උදේට හිසට දමන්න.

තුනටිය වේදනාවට

රත්හඳුන්, කොල්ලු, සතකුප්ප, වැල්මී, රට අඹ ගහේ පොතු, කැලෑ දෙල් මුල්, වෙනිවැල් ගැට, දෙහි ගහේ පොතු, තිප්පිලි, නික කොළ, සුදුළුෑණු කොටාගෙන පොට්ටනි බැඳල රත් කරගෙන තවන්න.

(මෙහි සඳහන් ආහාර රුචිය සඳහා වන බෙහෙත සහ ගෙල වේදනා සමන චූර්ණය දැනට වහරක අරිය චින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානය මුල් කරගෙන පැවැත්වෙන වෛද්‍ය සායනවලින් ලබාගන්න පුළුවන්…. විමසීම – 0773108516, 0717122001, 0771620072)

සටහන
නීතිඥ චන්දන සිරිවර්ධන

scroll to top