බෞද්ධත්වය තුළ කෙරෙන කිසිම පිංකමක් සුළුකොට තකන්න බෑ. මොකද අනන්ත සසර පුරාවට සම්බුද්ධ සාසනයක් මුණ ගැහෙන්නෙ අති දුර්ලභව. සාරාසංඛ්‍ය, අටාසංඛ්‍ය, සොළොසාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනින් පෙරුම් පුරල ලබා ගන්නා ලොව්තුරා බුද්ධත්වය තුළින් මතුවන අනන්ත ගුණ කඳ මුල් කර ගෙනම ඒ හැම පිංකමක්ම සිද්ධ කෙරෙන නිසා, බෞද්ධත්වය තුළ කෙරෙන පිංකම් වෙනත් ලෞකික පිංකම්වලට සම කරන්න බෑ. නමුත් කාලයක් යනකොට අර්ථ විපරීත වෙලා ගිහින්, අර්ථය නොදැන කරන පිංකම් බවට පත්වීම නිසා එ්වායින් ලබන්න පුළුවන් ප්‍රතිඵල අඩු වෙනවා. මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නෙත් ඒ වගේ දෙයක්. නමුත් බෞද්ධ පිංකමක් නම් කවදහරි මෙලොව පරලොව අභිවෘද්ධියත් සලසල නිවනින් කෙළවර කරන්නක් විය යුතුයි. එතකොට තමයි ඒක බෞද්ධ පිංකමක් කියන්න පුළුවන් වෙන්නෙ. මේ වෙනකොට අර්ථ නොදැන මතුපිටින් කෙරෙන ඒ වගේ පිංකමක දහම් අරුත තමයි මේ හෙළිදරව් කරන්නෙ.
බුද්ධ සාසනයේ එන ශබ්ද පූජා පින්කම් අතරින් ඝණ්ඨාර පූජාව මූලික තැනක් ගන්නවා. ඝණ්ඨාරයෙන් නිකුත්වෙන හඬින් ලෝක සත්වයාගේ සිත් පහන් වෙනවා. ඒ වගේම පරිසරයට මිහිරියාවක් ගෙනදෙනවා. රැව්පිළිරැව් දෙන මිහිරි නාදයක් ඝණ්ඨාරයෙන් නිකුත් වෙන නිසා කනට අමිහිරියාවක් නෑ. පරිසරයේ තියෙන ගොරෝසු කටුක ශබ්ද අභිබවා යන, කාගෙත් සිත් සතන් පහන් වෙන ආකාරයේ මිහිරි හඬක් දෙන ඝණ්ඨාර පූජාවක් සාසනය උදෙසා සිද්ධ කළාම විසාල ආනිසංස ප්‍රමාණයක්
ලැබෙනවා.
විශේෂයෙන්ම ගොරෝසු, අමිහිරි කටහඬ වෙනුවට කාගෙත් සිත් ගන්නා, අනෙක් අයගේ හඬ අභිබවා යන ගාම්භීර රැව්පිළිරැව් දෙන මිහිරි කටහඬක් මේ පූජාවේ ආනිසංස විදිහට ලැබෙනවා. ඝණ්ඨාර පූජාවෙන් ලැබෙන ලෞකික ආනිසංස අතරින් මූලිකම කාරණාව විදිහට ඒක හඳුන්වන්න පුළුවන්.
අපි හිතමු මේ වගේ උතුම් පින්කමකට අතහිතදී ගත්ත කෙනෙක් කවදහරි දවසක දහම් දේශනා කරන ගිහි හෝ පැවිදි පිංවතෙක් වුණා කියල. ඒ අයට මේ වටිනා පූජාවේ ආනිසංස විදිහට, තමන් ඉදිරියේ බණ අහන අය දහම් සමාධියේ පිහිටුවාගෙන, කාගෙත් සිත් ඇදගන්නා ආකාරයෙන් මහත් ගාම්භීර ස්වරූපයකින්, හැමෝගෙම සිත් පහන් වෙන ආකාරයෙන් ඒ කටයුත්ත සාර්ථකව මෙහෙයවන්න ශක්තියක් ලැබෙනවා. ඝණ්ඨාර පූජාවෙන් ලබන තවත් විශේෂ ආනිසංසයක් තමයි ඒ.
ඒ වගේම ඝණ්ඨාර නාදයෙන් යම් කිසි දැනුම් දීමක්, ආරාධනයක් සිද්ධ කරනවා. ගමේ වෙනත් කටයුතුවලට වඩා විශේෂ යමක් ගැන, ඒ කියන්නෙ ගමේ පන්සලේ නිවන් අරමුණු කරගත්ත විශේෂ පින්කමක් හෝ සදහම් දේශනාවක් හෝ පැවැත්වෙනවා කියන පණිවුඩය ගම්බිම් සිසාරා රැව් දෙනවා. ඒ වගේම හැමෝටම සසර දුකෙන් මිදෙන්න අවස්ථාවක් ඇවිත් කියන පණිවිඩය පෙනෙන නොපෙනෙන සියළු ලෝකවල ඉන්න හේතු වාසනා තියෙන සත්වයින්ට ඇහෙනවා. කලාතුරකින් ලෝකයේ පහළ වන අති දුර්ලභ සම්බුද්ධ සාසනයක් තුළ ඉතාමත්ම වටිනා අවස්ථාවක් ඇති බව හැමෝටම දැනුම් දීමක් තමයි මේ ආකාරයට සිද්ධ කරන්නෙ.
ඒ නිසාම මේ මහා පූජාවට අතහිතදී ගන්න හැමෝටම, ඒ හේතුවේ ඵලයක් විදිහට සසර ගමනෙදි කවදා කොහේ හිටියත් කවුරුහරි මාර්ගයෙන් දහම් පණිවුඩයක් ලැබෙනවා. “අන්න අර පන්සලේ අද වටිනා පින්කමක්, මිහිරි හඬින් දහම් දේශනාවක් පැවැත්වෙනවා, එන්න යන්න” කියල කවුරුහරි ඇවිත් ආරාධනයක් කරන්න පුළුවන්. අන්න ඒ මහඟු අවස්ථාවත් මේ තුළින් ලැබෙනවා. ඒ නිසා කවදාවත් සසර අනාථයෙක් වෙන්නෙ නෑ. ඒ වගේම අතහිතදී ගන්නා හැමෝටම ධර්මයේ පිහිටත් රැකවරණයත් ලැබෙනවා. මේවා ඝණ්ඨාර පූජාවෙන් ලැබෙන ආනිසංස විදිහට හඳුන්වන්න පුළුවන්.
ඉස්සර පන්සලේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේ නමක් අපවත් වුනාම, එහෙම නැත්නම් යම්කිසි කරදරයකට පත්වුනාම, එහෙමත් නැත්නම් විහාරස්ථානයේ මොනවහරි හදිසි තත්වයක් ඇති වුනාම, එකදිගට නොකඩවා ඝණ්ඨාරය නාද කරන සිරිතක් තිබුනා. ඒකෙන් ගම්වැසියො දැන ගන්නවා, විහාරස්ථානයේ මොනවහරි කරදරයක් කියල. එහෙම දැනගෙන විහාරස්ථානයට රැස් වෙනවා. ඒ වගේම විහාරස්ථානයේ විවිධ පිංකම්, තේවාවන් දැනුම් දෙන්නත් වෙනස් රටාවන්වලට ඝණ්ඨාරය නාද කරනවා. මේ විදිහට යම් කිසි පණිවිඩයක් දැනුම් දෙන්නත් ඝණ්ඨාරය ප්‍රයෝජනවත් වුණා.
“ඝණ්ඨ + ආරය” කියන අදහස මුල් කරගෙන තමයි “ඝණ්ඨාරය” කියන නම හැදිල තියෙන්නෙ. “ඝණ්ඨ” කියන්නෙ ගැටෙනවා කියන එක. ගැටීම මුල් කරගත්තු ආරයක්, ගැටෙන වෙලාවට ඒක ක්‍රියාත්මක වෙන එක්තරා ආරයක්, ක්‍රම රටාවක් තියෙනවා. යමක් යමක ගැටෙන ආරය තමයි ඝණ්ඨාරයෙන් පෙන්වන්නෙ. අන්න ඒ ගැටෙන ක්‍රම රටාව හැදෙන හැටි දැනගන්න ඕන. සත්වයා සංසාරයේ ගැටෙමින් යන ආරයට “ඝණ්ඨාරය” කියල කියනවා. ඇස, කන, නාසය, දිව, කය කියන අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට බාහිර ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වෙන් වෙන් වශයෙන් ගැටෙනවා. තවත් විදිහකින් කියනව නම්, ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ (පොට්ඨබ්බ) ගැටෙනවා. මනායතනය මේ සියල්ලටම මූලික වෙනවා. මේ ආකාරයට බාහිර ලෝකයේ තියෙන යම් යම් දේවල් ඇස, කන, නාසය, දිව, කය කියන අභ් න්තර ලෝකයත් සමග ඝට්ඨනය වුණාම, ලෝක සත්වයා ඒ ඒ දේවල්වලට විවිධ වටිනාකම් දිදී ඒ ක්‍රියාවලිය තමන් කැමති ආකාරයට පවත්ව ගන්න උත්සාහ කරනවා. බැරි වුණාම ඒවත් එක්ක ගැටෙනවා. ඒ විදිහට ගැටීම් වැඩි කරගත්ත කෙනා ද්වේශ බවට පත්වෙනවා. මේ ආකාරයට පටන් ගන්න පැවැත්මේ ස්වභාවයට “ආරය” කියල කියනවා. මේ ක්‍රියාවලිය ඇස, කන, නාසය, දිව, කය සහ මන මූලික කරගෙන එක්තරා ආරයකට ගමන් කරනවා. ඒ ගමන් කරන ආකාරයට චිත්ත වීථි කියල කියනවා.
මේ විදිහට යන ස්වභාවයේ සියුම් අවස්ථා පෙන්වන්න උදාහරණයක් විදිහට, ඇස මූලික කරගෙන ආරම්භ වෙන චිත්ත වීථි, කන මූලික කරගෙන ආරම්භ වෙන චිත්ත වීථි, ඒ වගේම නාසය, දිව, කය, මන මූලික කරගෙන ආරම්භ වෙන චිත්ත වීථී… ආදී වශයෙන් මේ ආරයට යන ක්‍රියාවලිය හඳුන්වන්න පුළුවන්. ඒ ආකාරයට චිත්ත වීථියක චිත්තක්ෂණ ගමන් කරන ගැඹුරු සංකීර්ණ ක්‍රියාවලිය පෙන්වන්නත් මේ ඝණ්ඨාරයේ උපමාව යොදා ගන්නවා.
උදාහරණයකින් පැහැදිලි කරනව නම්, කඹයෙන් ඝණ්ඨාරයේ මැද කොටස අදින කොට ඝණ්ඨාරය වටේ තියෙන තහඩුවේ වැදිල “ඩාං” ගාල ශබ්දයක් ඇතිවෙනවා. එහෙම ගැටුණට පස්සෙ ඒ මුලින්ම එන හඬ ඇසුරු කරගෙන තවත් රැව් දෙන හඬ මාලාවක් යම් කිසි වෙලාවක් යනකල් නිකුත් වෙනවා. එක වරක් වැදුණම විනාඩි ගණනක් කම්පනය වෙනවා. මේ විදිහට එක වරක් වැදිල එන හඬට “රාවය” කියල කියනවා. දිගින් දිගටම එන කම්පන මාලාවට “ප්‍රතිරාවය” කියල කියනවා. එතකොට එක වාරයක් වැදුනම කොච්චර නම් කම්පන වාර ගණනක් එනවද? මේ “රාව ප්‍රතිරාව” නැංවෙන ආකාරයට ලෝක සත්වයා ඇලෙමින් ගැටෙමින් තමයි සසර ගමනේ ගනුදෙනු හදාගන්නෙ. මුලින් එක වරක් ගැටුනම ඒක සිහිපත් කර කර දින ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ගැටෙනවා. ඉතින් මේ ආකාරයට ලෝක සත්වයා දිගින් දිගටම යන වැඩ පිළිවෙල සාරවත් ගමනක් වෙන්නෙ කොහොමද? දුකෙන් දුකට පත්වෙවී අසාර ගමනක් තමයි යන්නෙ.
එතකොට ඔය කියන අසාර වැඩපිළිවෙලින් වෙන් වෙලා මනසට යහපත් දහමක් ඝට්ඨනය කළොත් ඒකෙ ප්‍රතිරාවයත් එහෙමම යනවා. චිත්ත ප්‍රසාදය ඇති වෙවී යන ඒ ඝට්ඨනය යන්නෙ යහපත් අතට. ඒ කියන්නෙ සත්වයා සසරෙන් නිදහස් වෙන්න හේතු වෙන පැත්තට. අන්න ඒ වගේ හොඳ දේ හොයාගෙන හොඳ දේම ඝට්ඨනය කරන්න ඕන. මිහිරි නාදයට හේතු වෙන දේ ඝට්ඨනයෙන් මිහිරක් විහිදවනවා වගේ, රෞද්‍ර නාදයක් ඝට්ඨනය කළොත් රෞද්‍ර හඬක් විහිදවනවා. හේතුවට අනුකූලයි ඵලය. මේ තමයි ශබ්දයෙන් පෙන්වන්නා වූ න්‍යාය ධර්මය. අන්න ඒ න්‍යාය ධර්මය දකින්න පුරුදු වෙන්න ඕන. එතකොට ශබ්දය තුලින් ධර්මානුකූල පැවැත්මක් ගොඩනැගෙනවා.
ඉතින් මේ පූජාවේ තවත් ආනිසංසයක් පෙන්වනව නම්, අපි හිතමු මේ පූජාවට සහසම්බන්ධ වෙන පිරිස අතරෙ ආර්ය බවට පත්වුණ, එහෙමත් නැත්නම් සෝවාන්… ආදී මගඵල ලබපු පුද්ගලයන් ඉන්නව කියල. ඒ වගේ පුද්ගලයෙකුට ආර්ය බවට පත්වීමෙන් පසුව ඉතිරි මගඵල පූර්ණ කරගන්න “සතිය” තමයි මූලික කාරණයක් වෙන්නෙ. ඒ වගේ කෙනෙකුට, ලෝකයේ වැඩ කටයුතුවල නිරත වෙලා ඉන්න බොහොමයක් වෙලාවට සතර සතිපට්ඨානයෙන්ම (නිවන මුල් කරගත් සිහියෙන් යුක්තව) හැම වෙලේම ඉන්න බෑ. මොකද තමන්ගෙ යුතුකම් ආදී වෙනත් වැඩ කටයුතු කරන්න සිද්ධ වෙන නිසා. ඒ වගේ අවස්ථාවල පන්සලේ ඝණ්ඨාරය දවසට කිහිප වරක් නාද වෙනව ඇහෙනව නම්, ඒ හැම අවස්ථාවකම සංසාරයේ ගැටෙමින් ආපු ගමනේ හැටිත්, ඉදිරියට ගැටෙමින් යන්න සිද්ධවෙන සංසාර ගමනක හැටිත් හරියට මෙන්න මේ වගේනෙ කියල සිහිපත් වෙලා, නැවතත් යහපත් අතට (සතර සතිපට්ඨානයට) හිත තියන්න ඒ තුළින් අවස්ථාව ලැබෙනවා. මේ ආකාරයට ඝණ්ඨාර නාදය ඇහෙන තෙක් මානයේ ඉන්න හැමෝටම සසර ගමනේ ගැටෙන ආකාරය සිහිපත් කරල දෙන මේ මහා පින්කම නිසා, ඒ හේතුවේ ඵලයක් විදිහට තමන්ගෙත් සති ඉන්ද්‍රිය බලවත් වෙලා, නිවන් පූර්ණ කරගන්න අවස්ථාවක් මේ තුළින් ලැබෙනව.
මේ විදිහට ගැටෙන ආරය පෙන්වන්න, පෙර බෞද්ධයො ඝණ්ඨාර කුළුණක ඝණ්ඨාර හයක් සම්බන්ධ කරල තිබුනා. ප්‍රධාන ඝණ්ඨාරය නාද කළාම පිළිවෙලට අනෙක් පහම නාද වෙන ආකාරයට තමයි ඝණ්ඨාර කුළුණු නිර්මාණය කරල තිබුනෙ. මේ ප්‍රධාන ඝණ්ඨාරය විසාලයි. ඒක මනේන්ද්‍රියටත්, කුඩාවට හදපු අනෙක් ඝණ්ඨාර පහ ඇස, කන, නාසය, දිව, කය යන ඉන්ද්‍රියන්ටත් උපමා කරල තමයි පෙන්වල තියෙන්නෙ. ප්‍රධාන ඝණ්ඨාරය නාද කළාම අනෙක් ඒවත් නාද වෙනවා. නමුත් කාලයාගේ ඇවෑමෙන් දහම් අර්ථ වැහිල යනකොට ඒ වගේ ඝණ්ඨාර කුළුණුත් දකින්න නැතිව ගියා.
මේ විදිහට ඝණ්ඨාර නාදය ඇහෙන වාරයක් පාසා සංසාරයේ ගැටෙන බව සිහිපත් කරල, මේ අසාර පැවැත්මෙන් මිදිල නිවන් දකින්න ඕන කියල සිහිපත් කරල දීමක් තමයි මේකෙන් සිද්ධ වෙන්නෙ. මේ තමයි පරමාර්ථ අර්ථය හෙවත් ලෝකෝත්තර අදහස.
ඉතින් කෙනෙකුට නිවන් දකින්න අවශ්‍යනම්, මේ විදිහට ඇස, කන, නාසය, දිව, කය, මන කියන ඉඳුරන් තුළින් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම කියන අරමුණු සමග ඡන්ද රාගයෙන් ගැටෙමින් සසර ගමනට හේතුවන ක්‍රමවේදය ටිකෙන් ටික අවබෝධයෙන් යුක්තව නවත්වන්න ඕන.
තවත් විදිහකින් කියනව නම්, ඡන්ද රාගයෙන් යුක්තව ලෝකයේ ගැටෙන ආරයට යන ක්‍රමවේදය නවත්වල, දහම් අරමුණක් මූලික කරගත්ත නිවන් සමයට ඇදෙන යම් ක්‍රමවේදයක් තියේනම්, ඒ නිවන නමැති මාර්ගයේම ගැටෙමින් (ස්පර්ශ කරමින්) ලෝකයෙන් වෙන් වෙන ආරයට යාම තමයි බෞද්ධයෙක් විදිහට කළ යුත්තේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෞද්ධයන් විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නෙ එතකොට. ඒ වගේ යහපත් බෞද්ධ සමාජයක් ඉදිරි අනාගතයෙදි බිහිවීම පිණිසම මේ වෑයම හේතු වේවා. මේ කෙටියෙන් සඳහන් කළ කරුණු සියලු දෙනාගේම නිවන් මගට මහත් පිටිවහලක් වේවා. ඝණ්ඨාර නාදය ඇසීමෙන් අසල්වාසී ගම්වාසී රටවාසී ලෝකවාසී සෑම සියලු දෙනාගේම සිත් සතන් නිවී සැනසී සුවපත් භාවයට පත්වේවා.
පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේ විසින්
යළි මතු කළ සැඟවුනු දහම් කරුණු ඇසුරෙන් සකස් කළේ:
විද්‍යාවේදී අමිත් සමරනායක – බෙල්ලන්තර