ලොව්තුරා බුදුවරයන් වහන්සේ නමක් කල්ප ලක්ෂ ගණනක් පෙරුම් පුරල මතුකර ගන්න මේ නිර්වාණ සම්පත්තිය දකින්න, ඒ මගට වැටෙන්න අපිට තියෙන ඕනෑකම මොකක්ද? ඒකෙන් ඇති ඵලය මොකක්ද? ඒක අවබෝධ කර ගන්නෙ මොකටද? මේ ආදී වශයෙන් නිවන පිලිබඳව නානාවිධ ප්‍රශ්න පෘතජ්ජනයෙකුට ඇතිවෙන්න පුළුවන්. සසර ගමනේ තියෙන ආදීනව පෙන්වා දෙමින්, අනිච්ච – දුක්ඛ – අනත්ථ කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරවමින්, ඒ අනුසාරයෙන් රාග – ද්වේශ – මෝහ දුරු කරල සසර ගමන කෙළවර කරන්න මග පෙන්වා දෙන්න තමයි ලොව්තුරා බුදුවරයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නෙ. පටිච්ච සමුප්පාද ධර්ම තුල හිරවෙලා සසර ගමන තුල අගක් මුලක් නැතිව සැරිසරන සත්වයින් අතරින්, නිවන් අවබෝධ කරන්නම හේතු වාසනා තියෙන අයට සදාකාලික දුකෙන් මිදෙන මාර්ගය බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන්නා.
කෙනෙක් අපෙන් ඇහුවොත්, ඇයි අපි නිවන් දකින්න ඕන කියල අපි දෙන උත්තරය මොකක්ද? මේ ගත කරන ජීවිතය තුල දුකක් නැත්නම් දුකෙන් මිදෙන්න දෙයක් නෑ. මේ හැම කෙනාගෙම ජීවිත සැපෙන් පිරිල ඉතිරිලා යනවනම් දුකක් කියල දෙයක් දැනෙන්නෙ නෑ. සමහරුන්ට කොච්චර සැප සම්පත්, යාන වාහන තිබුණත් හිතට කිසිම සැනසීමක් සතුටක් නෑ කියනවා. තමන්ගෙ කැමැත්තට අනුව පවත්ව ගන්න කොච්චර උත්සාහ කළත් ඒවත් අන්තිමට දුක් දෙනවා. ඉතිං මෙන්න මේ ගැලවෙන්න බැරි දුකෙන් මිදීම තමයි නිවන කියන්නෙ. ගහ තුලින්ම යැපිල ගහ වටේම එතිල ගහම විනාස කරන පිළිල ශාක වගේ, අපි වටා එතිල තියෙන මේ පිළිල තමයි කෙලෙස්. මේ කෙලෙස් විනාස කර දමන තාක් කල් මේ දුක සංසාරිකවම අපිට දැනෙනවා. මේ දුක කියන දේ ධර්මය තුලින් නොදැක්කම අහනවා, ඇයි අපි නිවන් දකින්න ඕන කියල. දුකක් තියෙනවා කියල ධර්මය තුලින් දැක්කම, නිවන් අවබෝධ කර ගත යුත්තේ ඇයි කියල තමන්ටම දැනෙන්න ගන්නවා. දුකෙන් මිදීමම තමයි නිවන කියල අවබෝධ කර ගන්නවා.
ධර්මය තුලින් නිවන් දැක්කෙ නැති වුනාම අපි හිතනවා, මේ ලෝකය හොඳයි, සැපයි, සාරයි, නරකක් නෑ කියල. යමක් නරක නම් විතරයි අත්හැරිය යුත්තේ. යමක් දුක් දෙනව නම්, කරදර දෙනව නම්, හරයක් නැත්නම්, ඒක දැක්ක දවසට අත්හැරිය යුතු බවත් දකිනවා. දුකක් නැත්නම් දුක්ඛ සමුදයක් (දුකට හේතුවක්) නෑ. දුකක් හට ගන්න හේතුවක් නැති තැන එහෙම දෙයක් හට ගන්නෙ නෑ. එහෙනම් යම් තැනක දුකක් තියෙනවා කියල අවබෝධ වුනාම තමයි ඒ දුක් ගින්න කොහොමද හට ගත්තෙ, මොකක්ද හේතුව කියල හොයල බලන්න ඕන. ඒක හට ගත්තෙ මෙන්න මෙහෙමයි කියල දැන ගත්තට පස්සෙ, හට ගත්ත ක්‍රමය නැති කරන කල් එයින් වෙන් වෙන්න බෑ කියල වැටහෙනවා. හට ගත්තෙ මෙන්න මේ හේතුව නිසයි කියල අවබෝධ කරගෙන, ඒ හේතුව තුරන් (නිරෝධ) කළාම ඒ දුකෙන් නිදහස් වෙනවා කියල අවබෝධ වෙනවා. එහෙනම් මේ හේතුව නිරෝධ කරන්න යමක් පහ කළ යුතුද, ඇසුරු කළ යුතුද, අන්න ඒ ක්‍රමය හොයා ගන්න ඕන. ඒ ක්‍රමය මොකක්ද? ඇත්ත ඇති හැටියෙන් දැකල සිත, කය, වචනය සංවර කරගෙන, ඒ දුක හටගන්න අවශ්‍ය ආහාර නිරෝධ කරල, දුකෙන් නිදහස් ෙවන ක්‍රමවේදය ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන මාර්ග ඵල ලබන්න ඕන. ඒකට තමයි බුදුන් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය දේශනා කළේ.
යම් කෙනෙකුට දුකෙන් මිදෙන්න අවශ් තාවයක් නැත්නම් මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් ඒ පුද්ගලයට වැඩක් නෑ. දුක කියල දෙයක් යම් දවසක දැක්කෙ නැත්නම් දුකෙන් මිදෙන්න අවශ් තාවයක් පැන නගින්නෙ නෑ. දුකට හේතුව හොයන්න ඕන කමකුත් නෑ. යම් තැනක ජරා මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ඇතිවන හැටි අවබෝධ කර ගත්තොත් ඒක සැපක්ද දුකක්ද කියල හොයල බලනවා. යමෙකුට ජරා මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස හට ගන්නව නම්, ඒක දුකක් මිසක් සැපක් වෙන්නෙ නෑ, සැපක් වෙන්න හේතුවක් නෑ කියල ප්‍රඥාවෙන් අවබෝධ කර ගන්නවා. මමත් අකමැති, වෙන කෙනෙකුත් අකමැති ජරා මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන දේවල් අනිවාර්‌යෙන්ම ඇති වෙනව නම්, ඒක නවත්වන්නත් බැරි නම්, ඒවාට මුහුණ දෙන්නත් අනිවාර්‌යෙන්ම සිද්ධ වෙනව නම්, ඒවා යහපත්, හොඳයි, සාරයි කියල සලකන්න පුළුවන්ද? රසත් තියෙන, සුවඳත් තියෙන, කටට කෙළත් උනන, මත් ගතියත් තියෙන රා බඳුනකට වස දාල යම් කෙනෙකුට බොන්න දුන්නොත් ඔහු ඒ රා පානය කරයිද? කොච්චර සුවයක්, රසක්, සුවඳක් දැනුනත්, මත් ගතියක් ඇති වුනත්, අවසාන ප්‍රතිඵලය මරණය කියල දන්න නිසා පානය කරන්නෙ නෑ.
යම් ජාතියක් නිසා ජරා මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ඇති වෙනවද, මුල් අවස්ථාවෙදි ඒ මගින් සුවයක් දැනුනත් පසුව ඒක දුකයි. අවිද්‍යාව නිසා මේ ලෝකෙ හොඳයි, වටිනවා, සාරයි, කොච්චර නම් කාම සුවයක් විඳින්න පුළුවන්ද, පංචේන්ද්‍රිය කොච්චරනම් පිනවන්න පුළුවන්ද… ආදී වශයෙන් ඒ කෙරෙහි ඇලීම නිසා ලෝකය හොඳයි කියන දෘෂ්ටිය තුල සැරිසරනවා. මාරයා වුනත් බුදු රජාණන් වහන්සේට කියා සිටියේ ඔය ටිකමයි. මේ තරම් සැප සම්පත් තියෙන මේ ලෝකෙ අත්හරින්න කියන්නෙ ඇයි? පින් දහම් කරල සැප සම්පත් වැඩි කරගන්න පුළුවන්කම තියෙත්දි ඇයි මේ අත්හරින්න කියන්නෙ? ඇයි මේ ලෝකය නරකයි කියන්නෙ? මෙහෙම තමයි මාරයත් බුදු රජාණන් වහන්සේගෙන් ඇහුවෙ. මේ ලෝකය ජරා මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසවලින් කෙළවර වන එකක් බව අවබෝධ නොවුනොත් ඔය තර්කයම අදත් කෙනෙකුට මතු කරන්න පුළුවන්.
ජරා මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසවලින් කෙළවර වීම විතරක් නෙවෙයි, ආස්වාදයකින් මත් වුනොත්, මත් වෙන මොහොතක් පාසා සතර අපායේ දුක් විඳින්න හේතු වන්නා වූ විසක් (කෙළෙස්) නිපදවෙනවා. ඒක හරියට වස දාපු මත් වතුර බිව්ව මොහොතේ පටන් ශරීරයේ ඉන්ද්‍රියන් එකින් එක අක්‍රිය කරමින් ලේ වමනෙ ගිහින් අවසානයේ මරණයට පත්වෙනව වගේ, ජරා මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ගෙනදෙන යම් ජාතියක ප්‍රියයි, මනාපයි කියල මත් වෙලා ඉන්න අවස්ථාවක, ඒ මත් වෙන මොහොතක් පාසා සසර ගමන ගෙනියන ශක්තියක් නිපදවෙනවා. ඒ ශක්තිය කොච්චර කාලයක් ගෙවල ඉවර කරන්න වෙයිද දන්නෙ නෑ.
සමහරු පෙර භවයේ තමන් කවුද කියල හොයන්න යනවා. දෙවියෙක් වෙලා හිටිය කියල හොයා ගත්තම හරිම සතුටුයි. ඒ බව හරියටම හෙව්ව නම්, දෙවියො වෙලා ඉපදිලා ඉන්න බහුතරයක් පසුකාලීනව ලෝකයා ලස්සනයි කියන කුරුල්ලො වගේ සතර අපාගත වෙන්න ඉන්න අය. ලස්සන ලස්සන කුරුල්ලො මිහිරි ගී ගය ගයා යනව කියල තමයි ලෝකයා කියන්නෙ. ඒ දෙවිවරු තමයි දේව අත්බැව්වලින් චුත වෙලා ඒ විදිහට සතර අපාගත වෙලා තියෙන්නෙ. ඒ විදිහට තමයි ක්‍රමයෙන් පල්ලම් බහින්නෙ. මොකද මානයෙන් මත් වෙලා, මේ ලෝකය වටිනවා කියන අවිද්‍යාවෙන් කොටු වෙලා, මුලා සහගතව හිතපු, කියපු, කරපු දේවල් නිසා තමයි එහෙම වෙන්නෙ. ඒවායේ විපාක විදිහට කොච්චර කාලයක් තිරිසන් වෙලා ගෙවන්න වෙයිද දන්නෙ නෑ. ලස්සන මිහිරි හඬ තිබුණ දෙවියන්ට ලස්සන මිහිරි හඬ තියෙන සතෙක්ගෙ හඬ එනවා. ඒ විදිහෙ ලස්සන පාට ශරීරයටත් එනවා. මනුස්සයෙක් වුනත් ඒ ආකාරයට මත් වෙලා ඉඳල පුරුදු වුනොත්, පසුකාලීනව දෙවියෙක් වුනත් ඒ මත්වීම පුරුද්දට යනවා. මේ මත්වීම නිසා මනුස්සයා වුනත් දෙවියා වුනත් දන්නෙම නැතුව පව් කර ගන්නවා.
මේ තත්වය දැක්කට පස්සෙ, මහණෙනි, මේ වගේ කරුණු නිසා දේව සම්පත්තිය හොඳයිද කියල බුදු රජාණන් වහන්සේ අහනවා. දිව් සම්පත්තියත් “අට්ඨීයති හරායති ජිගුජ්ජති” ඇට කැබලි වගේ, මල මුත්‍ර වගේ ගන්න හරයක් නෑ කියල බුදු රජාණන් වහන්සේ දකිනවා. ඒ කියන්නෙ දිව් සම්පත්තියත් අනිච්චයි කියන කාරණය. අනිච්චයි කිව්වෙ දේව සම්පත්තිය ස්ථීර නෑ කියල නෙවෙයි, පරිහරණයට නිසි නෑ කියන එක. ඇයි පරිහරණයට නිසි නැත්තෙ? ඉහත පෙන්වපු ක්‍රමවේදය නිසා. මේ ක්‍රමවේදය දැක්කම, දේව සම්පත් පැතීම පිලිබඳව ලැජ්ජා හිතෙනවා. මගඵල ලැබුවෙ නැත්නම්, දෙවියන්ට දේවත්වය ලබල කර ගන්න වෙන්නෙ බොහෝ කාලයක් තිරිසන් ලෝකෙ කුරුල්ලො… ආදී තිරිසන් සත්තු වෙලා උපදින්න හේතු වෙන පාප කර්ම. ආස්වාදය විඳින අතරතුර දුකට මුල්වෙන කර්ම ශක්තියත් ගොඩ නැගෙනවා. ඒ නිසා මේක හරියට ජරා ගොඩක් වගේ අවසානයේ දුක නම් ඇති කරන්නෙ, ඒකෙන් ගන්න තියෙන හරය මොකක්ද කියල දකින්න ඕන.
තේමීය කුමාරයාගෙ පෙර අත්බැවක, විසි අවුරුද්දක් රජකම් කරල රජ සම්පත්තියේ ආස්වාද විඳින්න ගිහින් කරගත්ත අකුසල් නිසා බොහෝ කාලයක් ඔසුපත් නරකයක දුක් විඳින්න වුනා. ඒ ඔසුපත් නරකයෙන් චුත වෙලා නැවතත් රජ කුලයක උපදින්න කර්ම ශක්තියත් තිබුණා. ජාති ස්මරණ ඥානයකින් මේ සිද්ධිය දැක්ක නිසා, කලින් රජ කිරීමෙන් රාජ සම්පත්තිය විඳගෙන කර ගත්ත අපරාධයෙන් අවුරුදු අසූ දහසක් ඔසුපත් නරකයේ දුක් වින්ද හැටි මතක් වුනා. දැන් ඉපදිලා ඉන්නෙත් රජ කුලයේ. මේ මොන අපරාධයක්ද මට නැවතත් වෙන්න යන්නෙ කියල දැනිල, අත් දෙකත් වකුටු කරගෙන 16 අවුරුද්දක් හිටියා. එහෙම හිටියෙ රජ කුලයෙන් පැනල යන්න දෙන්නෙ නැති නිසා. ඒ වගේම එහෙම ඉන්න හැකියාවකුත් තිබුණා. ඒ නිසා මුකුත්ම කර ගන්න බැරි කෙනෙක් වගේ 16 අවුරුද්දක්ම පැත්තකට වෙලා හිටියා. ඒක අධිෂ්ඨානයකින් තේමීය කුමාරයා කළ ක්‍රියාවක්. එහෙම කළේ, තමන්ව එපා වෙලා රජකමෙන් පවා ඉවත් කරයි කියල හිතාගෙන. මොකද කලින් රජකම් කරල ආස්වාද විඳින්න ගිහින් වින්ද දුක් ගිනි මතක් වුන නිසා.
අපි මේ සැප පසු පස හඹා ගිහින් විසාල දුකකට මාර්ගය හදා ගන්නවා. සැප විඳින්න ගිහිල්ලත් අන්තිමේදි එන්නෙ දුකක් නම්, මේ ලෝකෙ දුක නැති තැනක් තියෙනවද? දුක් විඳින එක උපන් දා පටන්ම කරනවා. එතකොට මේ දුක සැප දෙකේම සාරත්වයක් තියෙනවද? දුක තුල එපා වෙන අසහනයත්, සැප තුල මර උගුල් ඇති නිසාත්, මර උගුල්වලට වැටි වැටී දුක් විඳ විඳා යන මේ ලෝකයේ කිසිම හරයක් නෑ කියල වැටහුණ දාට හිතෙනවා, මේ ලෝකයෙන් වැඩක් නෑ කියල. එතකොට ලෝකයෙන් මිදෙන්න ඕන කියල වැටහෙනවා. එදාට නිවන් දකින්න ඕන කියල අදහස එනවා. වේදනා චෛතසිකයෙන් විඳින දුකත් නැති, සැපත් නැති තැනක් තියෙනවද, අන්න ඒක තමයි බුදු රජාණන් වහන්සේ දේශනා කළ නිවන.
පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේ විසින් යළි මතු කළ සැඟවුනු දහම් කරුණු ඇසුරෙන් සකස් කළේ:
ප්‍රසාද් ද සිල්වා
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය