බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අරි මෙත සහ සම මෙත

hbp-02-2.png

බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ආර්ය මෙත්තානුස්සතිය අද වෙනකොට අර්ථ විපරීතයන්ට ලක්වෙලා තියෙන හැටි පසුගිය කලාපයෙන් යම් පමණකට විග්‍රහ කළා. එහිදී ගිහි කල තමන්ට ජාතව උපන් දරුවා තමන් ළඟ දමල මව ගිය වෙලාවෙදිත්, ඒ දිහා ඇහැ ඇරලවත් නොබැලීම ගැන බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේ නමකට ප්‍රසංසා කරපු අවස්ථාවක් ගැනත් සඳහන් කළා. (ඛුද්දක නිකාය – 1 – 138 පිටුව – සංග්‍රාමජිත් සූත්‍රය).

ඒ වගේම චුන්දසූකර නම් ඌරු වැද්දා මරණාසන්න මොහොතෙදි ඔසුපත් නිරයේ ගති නිමිති පහළවෙලා කෑගහන කොටත්, ඔහු ගැන අනුකම්පාවෙන් ඒ ස්ථානයට වැඩම කරල ඔහුට බණ පදයක් දේශනා කරන්නෙ නැත්තෙ ඇයි කියල භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේගෙන් විමසා සිටියම, චුන්දසූකර ඌරන් මැරීමේ පාපය හේතුවෙන් ඔසුපත් නිරයට යන්න නියමිත බවත්, මම එතැනට ගිහින් බණ දේශණා කළොත් ඔහු මටත් ධර්මයටත් අපහාස කරල ඒ පාපයෙන් ඔසුපත් නරකයටත් වඩා බලවත් අටමහ නරකයට යන්න පාර කපා ගන්නා බවත් උන්වහන්සේ දේශනා කළා. මේ නිසා චුන්දසූකර කෙරෙහි ඇති අනුකම්පාවෙන්ම තමයි උන්වහන්සේ එදා එතැනට නොවැඩියේ කියන කාරණය මෙයින් පැහැදිලි වෙනවා. නමුත් මේ වගේ කාරණාවන් අද සමාජයේ සිද්ධ වුනොත්, මිනිස්සු මොන තරම් වෙනස් විදිහකටද හිතන්නෙ කියල කල්පනා කරල බලන්න. හැබැයි බුදුන් වහන්සේ එදා තුන් කල් නුවණින් යමක් දැක්ක නිසයි ඒ විදිහට ප්‍රකාශ කළෙත්, ක්‍රියා කළෙත්.

ඒ වගේම එදා බුදු රජාණන් වහන්සේට දානය විදිහට මස් මාංස පූජා කරපු අවස්ථාත්, උන්වහන්සේ ඒවා වළඳපු අවස්ථාත් පෙළ දහම් පොත්වල ඕනෑ තරම් සඳහන් වෙනවා. නමුත් එදා උන්වහන්සේ වැළඳුවේ වැටීගිය මස, එහෙම නැත්නම් පාංශුකූල හෙවත් පවත්ත මාංශය මිසක් අද වගේ අසාධාරණ විදිහට සතුන් කපල කොටල මරා සකස් කරගත්ත මාංශය නොවන බවත් පැහැදිලිව තේරුම් ගන්න ඕන. (පාංශුකූල මාංශය ගැන වැඩිදුර විස්තර සඳහා හෙළ බොදු පියුම 9, 10, 11 කලාප බලන්න) විවිධ සතුන් මරා සකස් කරගත්ත දානය යහපත් විදිහට සකස් කරගත්ත දානයක් නොවන නිසා, බුද්ධාදී උත්තමයන් ඊට සහභාගි වෙන්නෙ නෑ කියලයි උන්වහන්සේ දේශනා කළේ. මේ කාරණය නොදන්නා ඇතැම් උදවිය “චුන්ද කර්මාර පුත්‍රයා බුදුන් වහන්සේට දීල තියෙන්නෙ හතු වර්ගයක්! මෙත් සිත වඩමින් ලෝක සත්වයාට කරුණාවන්ත වූ බුදුන් වහන්සේ මස් මාංශ අනුභව කළයි කියන එක වෙන්න පුළුවන්ද? අපි නම් මළකුණු කනව තියා කට හරියෙවත්තියන්නෙ නෑ….” මේ ආදී වශයෙන් විවිධ මත ප්‍රකාශ කරනවා. මස් මාංශ ජරාව කියල පිළිකුල් කරල අප්‍රිය ගතිය පෙන්වනවා. මතක් කළොත් මුහුණත් ඇද වෙනවා. නමුත් බුදුන් වහන්සේ, මස් මාංශ ප්‍රණීත ආහාර කොටසට වැටෙන බවත් දේශනා කරල සප්ත ප්‍රණීතවලට ඇතුලත් කරල තියෙනවා. ඒ නිසා සප්ත ප්‍රණීතයෙන් දන් දෙන්න කියලත් දේශනා කරල තියෙනවා. හැබැයි ඒ කලින් කිව්ව වගේ පවත්ත මාංශය මිසක් අසාධාරණ විදිහට සකස් කරපු මසක් ගැන නෙවෙයි මේ කියන්නෙ. අසාධාරණයෙන් සකස් කරපු පවත්ත නොවන මස් මාංශයෙන් දන් දීමට හෝ ඒවා වැළඳීමට හෝ බුදුන් වහන්සේ කිසිවිටකත් අනුදැන වදාළෙ නෑ. අංගුත්තර නිකායේ එන සීහ සූත්‍රයේ, කුර ඇති සතෙක්ගෙ මළ සිරුරක් ගෙනත් ඒ මසින් දුන්න දානයක් ගැන සඳහන් වෙනවා. ඒ කියන්නෙත් පවත්ත මාංශයක්. මේ නිසා ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන චුන්ද කර්මාර පුත්‍රගේ දානය ගැන විතරක් හිතුමතේ අදහස් ප්‍රකාශ කරන්න යෑම භයානක බවත් තේරුම් ගන්න ඕන. යමෙක් සාසනයට ලැබෙන ප්‍රණීතය වළක්වනවද, ප්‍රණීතය සඟවාගෙන රූක්ෂය (කටුක නීරස) දන් දෙනවද, ඒ අයට ඇටසැකිළි වගේ ප්‍රේත අත්බැව් ලබන්න හේතුවන පාපයක් වන බවත් දේශනා කරල තියෙන බව සිහි කළ යුතුයි.

මවක් තමන්ගෙ එකම පුතා පණ වගේ රැක ගනිමින් මෙත් වඩනව වගේ සියලු සත්වයින්ට මෙත් වැඩිය යුතු බවට කරපු දේශනාව අර්ථ වැටහෙනව නම් තේරුම් ගන්න පුළුවන්. ඊට පෙර බුදුන් වහන්සේගේ මෙත් සිත මොන වගේද කියල පැහැදිලි කරගනිමු.

සංයුක්ත නිකාය (1) 226 පිටුව මාර ධීතු සූත්‍රය – “මම ප්‍රිය ස්වරූප ඇති මධුර ස්වරූප ඇති ක්ලේශ සේනාව දිනා හුදකලාව ධ්‍යාන කරමින් අභිමථාර්ථයාගේ පැමිණීම වූද හෘද ශාන්තිය වූද රහත්ඵල සුවය අවබෝධ කළෙමි. එබැවින් මහජනයා සමග මිත්‍රත්වය නොකරමි. කිසිවෙකු හා මාගේ මිත්‍රත්වයක්ද නොසැපයේ. මහා වීර වූ තථාගතවරයෝ සද්ධර්මයෙන් සත්වයන් එතෙර කරත්. නුවණැතියන් ධර්මයෙන් එතෙර කරන කල්හි කවර ඊර්ෂ්‍යාවක්ද?” මේ තමයි තණ්හා මාර දුවගෙ ප්‍රශ්ණයට බුදුන් වහන්සේ දුන්න පිළිතුර.

සංයුක්ත නිකාය (1) 369 පිටුව සක්ක සූත්‍රය – සක්ක යක්‍ෂයා :- අනුන්ට අනුසාසනා කෙරෙයි යන යමක් වේද, සියලු තැන්හි ප්‍රහීණ වූ කෙලෙස් ගැට ඇති වෙසෙසින් මිදුනා වූ තොපට එය නොමැනවි.

බුදුන් වහන්සේ : එම්බා සක්ක, යම්කිසි කාරණයකින් සංවාස හෙවත් මිත්‍ර ධර්මය හටගනීද, සුප්‍රාඥ (යහපත් වන්නා වූ මනා නුවණැති) තෙමේ එයට සිතින් අනුකම්පා කරන්ට නොනිසියි. එහෙත් පහන් සිතින් (සසරින් එතෙර වීම ප්‍රධානකොට) අනුන්ට අනුසාසනා කරයි යන යමක් වේද, එයින් බැඳීමක් (හෙවත් ඡන්දරාගයෙන් යුත් මිත්‍ර බවක්) නොවේ. එයම අනුකම්පාවයි. එයම කරුණාවයි.

මේ පෙන්වූ පෙළ දහම අනුව ශ්‍රී මුඛ බුද්ධ දේශනාව විදිහට පෙන්වා තියෙන සාසනයේ අනුකම්පාවත් කරුණාවත් තේරුම් ගන්න ඕන.

“නිරෝගි වෙත්වා” කියල හිතන පතන කොට, කය නිරෝගි බවට මොහොතක් හෝ ප්‍රතිඥා කිරීම, ඒ කියන්නෙ තමන් නිරෝගියි, කිසිම ලෙඩක් නෑ කියල ප්‍රකාශ කිරීම මෝඩ වැඩක් බවත්, කළ යුත්ත නම් සිත නිරෝගි කිරීම බවත්, ඒ සඳහා පංචස්කන්ධය පිළිබඳව තතු දැනගෙන ඇල්ම අත්හැරිය යුතු බවත්, එතකොට දුක් දොම්නස් උපායාස ආදී සියල්ලෙන් මිදෙන බවත්, සංයුක්ත නිකායේ (3) 3 වන පිටුවේ එන නකුලපිතු සූත්‍රයේ විස්තර කරල තියෙනවා. මේ අනුව නිවන් දැකීමෙන් ලැබෙන හිත, පිරිසිදුබව, නිරෝගි බව, නිදුක් බව විදිහට බුද්ධ සාසනයේ පෙන්වා තියෙන හැටි තේරුම් ගන්න ඕන.

දැන් මේ කරුණු අනුව, ඒ ඒ තැන ඇලීම් බැඳීම් ඇතිකර ගනිමින් මනුස්සයො අතර පවතින මිත්‍ර බව බුද්ධ දේශිත මිත්‍ර බව නොවන බවත් පැහැදිලියි. ඒ වගේම නිදුක් වෙන්න පැතීම කියන්නෙ, මනුස්සයො විසින් දුක කියල සම්මත කරගත්ත දුක නැතිව සැප සේ වාසය කරන්න හිතීමට රුකුල්දෙන අදහසක් නෙවෙයි, සංසාර දුක නැති වෙලා නිවන් දැකීමෙන් ලැබෙන නිදුක් බව ලෝකයාට ලැබෙන ලෙස පැතීම බවත් තේරුම් ගන්න ඕන. ඒ වගේම නිරෝගි වෙත්වා කියන්නෙ, කොත්තමල්ලි උගුරක්වත් නොබීනිරෝගීව ඉන්න ලැබේවා කියන අදහස නෙවෙයි, මේ මුළු සංසාරයම රෝගයක් විදිහට සලකල, ඒ භව රෝගය සංසිඳුවන නිවන නිරෝගය විදිහට සලකල ඒ පැතුම හැමදෙනාටම ලැබේවා කියල පැතීම බවත් හොඳින් පැහැදිලි වෙනවා. පෙළ දහමින් තවත් කරුණු දැනගන්න අවශ්‍ය නම් ඛුද්දක නිකායේ පටිසම්භිදා මග්ගප්‍රකරණයේ 227 පිටුවේ එන විදර්ශනා කතා නම් කොටස බලන්න. ඒ අදහස මෙහෙමයි.

සංස්කාරයෝ දුක් විදිහට හිතල නිවන නිදුක් විදිහට හිතල, සියලු සත්වයන් කෙරෙහි සංසාර දුකින් මිදිල නිර්වාණ නිදුක ලැබෙන්න පැතීම තමයි නියම ක්‍රමය. තමන්ට සංස්කාර, දුක් සේ වැටහෙනවනම් ඒක අනුලෝම ක්‍ෂාන්තිය (ලෝකයේ අසාර බව වැටහීමෙන් ඇතිවන ශාන්තිය හෙවත් නිවනට අනුලෝම වීම) ලබාදෙන බවත්, නිවන නිදුක් සේ වැටහෙනවනම් ඒක සම්‍යක්ත්ව නියාමයට (නිවනේ ශාන්තිය වැටහීම) පමුණුවන බවත් පැහැදිලිව සඳහන් වෙනවා. නිරෝගය පැතීම කියන්නෙ සංසාරය රෝගයක් ලෙසත්, නිවන නිරෝගයක් ලෙසත් අදහස් අරගෙන පැතීම. සියලු සත්වයන්ට සංසාර රෝගයෙන් මිදිල නිවන නමැති නිරෝගය වේවායි කියල ආසිරි පැතීමෙන්, තමන්ට සංසාරය රෝගයක් විදිහට ආදීනව වැටහෙනවා,අනුලෝම ක්‍ෂාන්තිය ලැබෙනවා, නිවන නිරෝගය විදිහට ආනිසංස වැටහෙනවා, සම්‍යක්ත්ව නියාමයට පත්වෙන්න හේතු වෙනවා.

සුවපත් බව පැතීම කියන්නෙ,සංසාරය විපත් විදිහට දැකල නිවන සුවපත් විදිහට තේරුම් අරගෙන පැතීම. ඒ නිසා සුවපත් වෙත්වා කියල ලෝකයාට ආසිරි පතන කොට සංසාර විපතින් මිදිල නිවන් සුවයෙන් සුවපත් වේවා කියන අදහස ඇතිකර ගන්න ඕන. සංසාරය විපත් විදිහට දකින කොට අනුලෝම ක්‍ෂාන්තිය ලැබෙන බවත්, නිවන සුවපත් විදිහට දකින කොට සම්‍යක්ත්ව නියාමයට පත්වන බවත් බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා.

මේ විදිහට විදර්ශනා කතාවල, පංචස්කන්ධයේ ආදීනව හතලිස් ආකාරයකින් පෙන්වල, ආදීනව දැකීම නිසා අනුලෝම ක්‍ෂාන්තිය ලැබෙන බවත්, ඒවායින් මිදීමේ ආනිසංස විදිහට නිවන සිහි කිරීම සම්‍යක්ත්ව නියාමයට හෙවත් මාර්ග ඵලයන්ට පමුණුවන බවත් පෙන්වා තියෙනවා. මේ විදිහට ආර්ය සාසනයේ මෙත් වැඩීම වටහා ගෙන කටයුතු කළොත්, අද පවතින දෘෂ්ඨිය නිසා ලබන්න බැරිව වැහිල තියෙන නිවන් මග විවෘත වෙලා උතුම් නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා.

“මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනු රක්ඛේ” කියනකොට, නියම සාසනික අර්ථය මොකක්ද කියල දැන් නුවණින් හිතල බලන්න. ඒ කාරණය හොඳින් වටහා ගැනීම සඳහා පහත විස්තරයත් අධ්‍යයනය කරන්න.

අංගුලිමාල මහ රහතන් වහන්සේ එක් අවස්ථාවක පිණ්ඩපාතෙ වඩින වෙලාවක, දරුවෙක් බිහි කරන්න අමාරු වෙච්ච එක ගැබිනි කාන්තාවක් වේදනාවෙන් කෑගහන හැටි අහල, බුදුන් වහන්සේ ළඟට ගිහින් ඒ ගැබිනියගෙ අඳෝනාව සංවේග දනවන සුළුබව කියා සිටියා. එතකොට බුදුන් වහන්සේ, ඔබ ගිහින් මේ විදිහට සෙත් පතන්න කියල පිරිතක් දේශනා කළා. “උපන් දා පටන් මම සත්ව හිංසාවක් නොකළෙමි. ප්‍රාණ ඝාතයක් නොකළෙමි. ඒ සත් බලයෙන් ගැබට සෙත් වේවා, දරුවාට සෙත් වේවා” මේ තමයි ඒ පිරිත. එතකොට අංගුලිමාල තෙරුන් වහන්සේ පුදුමයට පත්වෙලා, ස්වාමීනි මිනිස්සු 999 ක් මරල මවත් මරන්න තැත් කරපු මම කොහොමද ඒ විදිහට සෙත් පතන්නෙ කියල ඇහුවා. එතකොට බුදුන් වහන්සේ, ඒ ඔබේ ගිහි කල කතාවක් බවත්, දැන් ඔබ ඉපිදිලා ඉන්නෙ ආර්ය ජාතියේ ආර්ය විනයේ බවත්, එතැන් පටන් ඔබ එබඳු සත්ව හිංසාවක් හෝ ප්‍රාණ ඝාතයක් හෝ නොකළ බවත් දේශනා කළා.

භික්ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා කියන සිවු පිරිස ආර්ය ජාතියේ ආර්ය විනයේ උපන් පිරිසක්. මේ මෙත් කර්මස්ථානය ආර්ය ජාතියේ ආර්ය විනයේ උපන් සිවු පිරිසට ලැබුණ ධර්ම දායාදයක්. මේ සිවු පිරිසට මවත්, පියාත්, සාස්තෘවරයාත්, රජ්ජුරුවොත් බුදු රජාණන් වහන්සේමයි. අමා මෑණියන් වහන්සේ, බුදු පියාණන් වහන්සේ, සාස්තෘන් වහන්සේ, බුදු රජාණන් වහන්සේ කියල බොදුනුවන් උන්වහන්සේට ආමන්ත්‍රණය කරන්නෙ ඒ නිසා. මේක නීතාර්ථ, නෙයියාර්ථ කියන සූත්‍ර දේශනා ක්‍රමය අනුව තෝර ගන්න ඕන. (නීතාර්ථ කියන්නෙ එළිපිටට පේන්න තියෙන අදහස. නෙයියාර්ථ කියන්නෙ සැඟවුණ අදහස. උදාහරණ විදිහට, ගමන අවසන් කරන කල් නවතින්න එපා කියල කිව්වොත්, ඒකෙ නීතාර්ථය තමයි යම් කිසි ලෝක සම්මත ස්ථානයක සිට තවත් ස්ථානයකට යන අතරතුර නොනැවතී යන්න කියන එක. නමුත් ඒකෙ නෙයියාර්ථය තමයි, සංසාර ගමන අවසන් කරන කල් ප්‍රතිපත්ති පිරීම නතර කරන්න එපා කියන එක.)

රහත් ඵලය ලබපු උතුමන්ට බුදු රජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළේ “මාගේ පුත්‍රයා” කියන ප්‍රිය වදනින්. සම්මත සංඝත්වයේදි රහතන් වහන්සේට අනුකූල පිළිවෙත් තියෙන උතුමන් පවා පුත්‍ර නාමය ලබන්න සුදුසුයි. ශෛක්‍ෂ ගුණ තියෙන අය(සෝවාන්, සකෘදාගාමී, අනාගාමී) දරුවන් නමින් හඳුන්වනවා. ඒ තමයි බොදුනු දරුවෝ. බුදුන් වහන්සේ යමෙකුගේ මාර්ග පිළිවෙත කෙරෙහි සෑහීමකට, තෘප්තියකට පත්වෙන්නෙ රහත් ඵලය අවබෝධ කළාම. එතකල් අවවාද අනුසාසනා කරනවා, වරද දුටු තැන පෙන්වා දෙනවා. දහම් කිරි දෙමින් පෝෂණය කරනවා. බුදු මෑණියන්ගේ එකම පුතා සංඝ නම් වෙනවා. සංඝත්වයේදි භේද නෑ. ඒකීයයි. ගංගා හතරක ජලය මුහුදට එකතු වුනාම ඒ ගංගාවල ආකාරයන් හැර දමා එකම මුහුදු ජලය වෙනව වගෙයි, රහත් ඵලය ලබල සංඝත්වය පූර්ණ කළාම “පුත්‍රයෝ” කියල කියන්න බෑ. ඒකීය වූ නිසා “මාගේ පුත්‍රයා” කියල හඳුන්වනවා.

අමා මෑණියන් වහන්සේ තමන්ගෙ ජීවිතය වගේ මේ එකම පුතා හෙවත් සංඝත්වය කරා පිහිටු වන්න යම් ක්‍රියා මාර්ගයක් අනුගමනය කරනවද, ඒ පුත්‍රභාවය සැනසුමයි කියල දැනගෙන ඒ සඳහා ලෝ සතුන් පෝෂණය කරනවද, ඒ ආකාරයෙන් යමෙක් උත්සාහ කරනවනම් ඒ තමයි බ්‍රහ්ම විහරණය. වෙනත් විදිහකින් කියනවනම් තථාගත විහරණය. එහෙම නැත්නම් අරිය විහරණය හෙවත් ආනාපානා සති විහරණය. මේ විහරණය යමෙක් අනුගමනය කරනවනම්, තමනුත් නිවන් දකිනවා, ලෝකයාටත් නිවනට හේතු වෙනවා. (අංගුත්තර නිකාය 5 – 61 පිටුව, සීහ සේනාධිපති සූත්‍රය – සීහය, මම වනාහි චාතූර් මාර්ග ඵල සංඛ්‍යාත උත්තම ආස්වාසයෙන් ආස්වාසක වූයේ, එම ආස්වාසය පිණිස දහම් දෙසමි. එයින් සව්වනුදු හික්මවමි.)

ඊළඟට සම මෙත කියන්නෙ මොකක්ද කියල විමසල බලන්න ඕන. බුදු රජාණන් වහන්සේ දුප්පත්-පොහොසත්, ලොකු – කුඩා, නුවණ ඇති – නුවණ නැති, මිනිස් – තිරිසන්… ආදී වශයෙන් භේදයක් නැතිව කාටත් සමානව මෙත් පතුරවනව කියන්නෙ අද තියෙන මතයක්. මේක සත්‍යය ද,නැත්නම් දෘෂ්ඨියක්ද? පෙළ දහමේ එන දේශනාවලින් මේ කාරණය වටහා ගන්න පුළුවන්.

සංයුක්ත නිකාය (4) – 571 පිටුව,ඛෙත්තූපම සූත්‍රය. මේ සූත්‍රයේ කෙටි අදහස තමයි මේ.

එක අවස්ථාවක භාග්‍යවතුන්වහන්සේ නාලන්දාව සමීපයේ පාවාරික අඹ වනයේ වැඩ වාසය කරන කාලයක නිඝන්ඨනාථපුත්තගේ සව්වෙක් වන අසිබන්දකපුත්ත ගාමිණී භාග්‍යවතුන්වහන්සේට වැඳල එකත්පසව ඉඳගෙන මේ විදිහට අහනවා. “භාග්‍යවතුන්වහන්සේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පාව ඇතිව වාසය කරන්නේ නොවේද?” ගාමිණිය. එසේය කියල උන්වහන්සේ පිළිතුරු දුන්නා. එතකොට අසිබන්දකපුත්ත ගාමිණී අහනවා, “එසේනම් භාග්‍යවතුන්වහන්සේ කුමක් හෙයින් ඇතැමුන්ට සකසා දහම් දෙසන සේක්ද, ඇතැමුන්ට සකසා දහම් නොදෙසන සේක්ද” කියල. එතකොට බුදුන් වහන්සේ “එසේ වී නම්තොප පුළුවස්නෙමි (ප්‍රශ්න අහනවා),තොපට වැටහේනම් එසේ විසඳන්න” කියල පහත ආකාරයට දේශනා කළා.

ගොවියෙකුට කුඹුරු තුනක් තියෙනව කියල හිතන්න. එයින් එක කුඹුරක් ඉතා සරුවට වැඩෙනවා. වල් පැළ හටගන්නෙත් නෑ. වපුරන බීජ සරුසාර අස්වැන්නකුත් ලබා දෙනවා. දෙවැනි කුඹුරත් සරුවට වැඩෙනවා. නමුත් වල් පැළ සඳහා සාත්තු නොකළොත් වල් පැළ වැඩෙනවා. අස්වැන්න බාල වෙනවා. තුන්වෙනි කුඹුර නිසරුයි. සාත්තු කරල මහන්සි වුනොත් සුළු අස්වැන්නක් ලැබෙනවා.

මානවකය, ඉතින් දක්‍ෂ ගොවියා පළමුව වැඩ කරන්නේ මොන කුඹුරද? ස්වාමීනී, පළමුව සඳහන් කළ වල් පැළනොවැඩෙන සරුසාර අස්වැන්නක් ලබා දෙන කුඹුරයි කියල ඔහු උත්තර දුන්නා. මානවකය, ඉන්පසු දෙවනුව වගා කරන්නේ මොන කුඹුරද? ස්වාමීනී, වල් පැළ මර්ධනය කරල අස්වැන්න ගන්න පුළුවන් දෙවන කුඹුරයි කියල පිළිතුරු දුන්නා. මානවකය, තවත් කාල වේලා තියේ නම් වැඩ කරන්නෙ කීවෙනි කුඹුරද? ස්වාමීනී, නිසරු වූ, නමුත් බොහොම මහන්සි වෙලා සාත්තු කරල සුළු අස්වැන්නක් ගන්න පුළුවන් තුන්වන කුඹුර.

මානවකය, දක්‍ෂ ගොවියා එහෙම කරන්නෙ කුඹුරු සමග අමනාපයකටද? නෑ ස්වාමීනී, එබඳු අමනාපයක් කුඹුරු සමග ගොවියාට නෑ. මානවකය, ගොවියා මේ කුඹුරු තුනම සමානව වැපුරුවොත්, සාත්තු කළොත් ඒක සමද විසමද? ස්වාමිනී විසමයි. දක්‍ෂ ගොවියා විසම වැඩ කරන්නෙ නෑ.

මානවකය, මමත් ඒ ගොවියා වගෙයි. මටත් කුඹුරු තුනක් තියෙනවා. මගේ සරුසාර වූ වල් පැළ නොවැඩෙන උසස් අස්වැන්න ලැබෙන කුඹුර තමයි මේ භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිස. මගේ දෙවන කුඹුර තමයි උපාසක උපාසිකාවෝ. දුසිරිත්වලට ප්‍රතිකර්ම කරමින් දහම් බීජ වපුරල පෝෂණය කළාම මගඵල අස්වැන්න ලැබෙනවා. මගේ තුන්වන කුඹුර තමයි අන් වූ පරිබ්‍රාජක පිරිස්. දුසිරිත් වළක්වන්න ලැබුණ වෙලාවක උපදෙස් දෙමින් දහම් බීජ වපුරල පෝෂණය කරනවා. ඒකෙන් ඉතා සුළු අස්වැන්නක් ලැබෙනවා.

මේ තුන් පිරිස් සමග මගේ අමනාපයකුත් නෑ. ඉතින් මම මේ තුන් පිරිසටම සමව දේශනා කළොත්, දහම් පෝෂණය කළොත්, ඒ මග සමද විසමද? ස්වාමීනී එහෙම සමව දේශනා කළොත්, දහම් පෝෂණය කළොත් විසම වෙනවා. සම වෙන්නෙ නෑ.

එතැනදි උන්වහන්සේ තවත් උපමාවක් පෙන්වනවා. ගාමිණී, යම් පුරුෂයෙකුට දිය බඳුන් තුනක් තියෙනව කියල හිතන්න. එක දිය බඳුනක් සිදුරු රහිතයි, දිය වැගිරෙන්නෙ නෑ, හිඳෙන්නෙ නෑ. තවත් බඳුනක් සිදුරු රහිතයි, දිය වැගිරෙනවා. අනෙක් බඳුන සිදුරු සහිතයි, දිය වැගිරෙනවා, හිඳෙනවා. ඉතින් ඒ පුරුෂයා දිය බහාලනු කැමැත්තේ නම්, දිය බහාලනව නම්, පළමුව බහාලන්නේ මොන බඳුනේද? ස්වාමීනී, පළමුවෙනි බඳුනේ. තවත් අවශ්‍ය නම් මොන බඳුනේද? ස්වාමීනී, දෙවන බඳුනේ. තවත් දිය ඉතිරි නම් මොන බඳුනේද? ස්වාමීනී, තුන්වන බඳුනේ පුළුවන් පැත්තක, යටත් පිරිසෙයින් යමක් සෝදා ගන්නවත් පුළුවන් වෙයි කියල. ගාමිණිය, ඒ මනුස්සයා බඳුන් සමග අමනාපද? නෑ ස්වාමීනී. ගාමිණිය, සියල්ලටම සමානව දිය දැම්මොත් සමද විසමද? විසමයි ස්වාමීනී.

මේ විදිහට බුදු පියාණන් වහන්සේ ඔහුව දැනුවත් කළාට පස්සෙ “ස්වාමීනී, අද පටන් මම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විදිහට දරාගන්න සේක්වා” කියල ඒ මානවකයා බෞද්ධයෙක් වුනා.

බුදුන් වහන්සේගේ සම මෙත මොකක්ද කියල මේ බුද්ධ දේශනාවෙන්ම දැන් තේරුම් ගන්න පුළුවන්. දහම් වටහා ගන්න බැරි මිනිස්සුන්ට සහ තිරිසන්… ආදී සතුන්ට පතුරවපු සම මෙතක් කොයින්ද? උන්වහන්සේට කිසිවෙක් සමග අනෙක් අයගෙ වගේ මිත්‍ර බවක් තිබුනෙ නෑ. මිත්‍ර බව තමයි, ධර්ම දේශනාවෙන් සසුන් මග දෙන්න පුළුවන් අයට සසුන් මග දෙමින් කරන නියම සාසනික සේවය. එතකොට උන්වහන්සේගෙ සත්ව කරුණාව පෙන්වන්න කියල උදාහරණ විදිහට පෙන්වන, ගැරඬියෙකුට හිංසා කරපු ළමයින්ට අවවාද දීම පිළිබඳ කතා පුවතක් සමහර පොත්වල සඳහන් වෙනවා.

ඒ මොකක්ද? ඉහත කරුණු අනුව බලන කොට බුදුන් වහන්සේ කරුණාව දක්වල තියෙන්නෙ ගැරඬියාට නෙවෙයි ළමයින්ට. ළමයින්ට දහම් දේසනා කරල සුචරිතයට පත් කරපු බව තමයි ඒකෙන් පේන්නෙ. ගැරඬියා යන්න ගියා මිසක් ඌට දහම් දැනගන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. හැබැයි සසර ගති අනුව හෝ තිරිසන්ව ඉපදුනත් පැහැදීම් මාත්‍රයක් ලබන්න පුළුවන්නම් උන්වහන්සේ ඒ සඳහා පසුබට නොවී තිරිසනාගෙ නමුත් අභිවෘද්ධියට කටයුතු කරපු අවස්ථා තියෙනවා. පාරිලෙයිය වනයෙදි පළතුරු පිළිගන්වපු ඇතා සහ දඬුවැල් බෑ මී වදයක් පිළිගන්වපු වඳුරා ඒ විදිහට උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගෙන සුගතිගාමී වෙච්ච සතුන්.

ඉහත කරුණු සලකල බලන කොට, ජේතවනාරාමය පිටුපස ඌරන් මරල මස් විකුණමින් ජීවත් වෙච්ච චුන්දසූකරට බණ දෙසන්න ගියේ නැති හැටිත්, ඌරන්ගෙ මරණයන් වළක්වන්න පියවර ගත්තෙ නැති හැටිත් හේතු සහිතව පෙන්වන්න පුළුවන්. සත්තු ගෙනියන්නෙ උන් පෙර කරපු පාප කර්මවලට විපාක. උන් පෙර කරපු පව් විඳිනවට බුදුන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේලා හෝ මොනවා කරන්නද? කිසිවෙක් සමගවත් ඇලීම් බැඳීම් ඇති කරන්න හේතුවන හිතමිතුරුකම් පවත්වපු නැති උන්වහන්සේ, නිවන් සුව ලබන්න සුදුසු අයටත්, යම් ගුණයකට පැමිණෙන්න පුළුවන් අයටත් ධර්ම දේශනා කරමින්, මග පිලිපදින්න අකමැති ලෝ සතුන් කෙරෙහි කරන්න පුළුවන් දෙයක් නැති බවත්, කරපු පව් ගෙවමින් සසර කතරේ යන අනාථයන්ගේ පාප විපාක වළක්වන්න උත්සාහ කළාට සසරින් මිදීමක් නොවන බවත් දැනගෙන, ඒ සතුන් කෙරෙහි උපේක්‍ෂාවට පත්වෙලා නිහඬ වෙමින් තමන්ගෙ ශ්‍රාවකයන්ටත් දේශනා කළේ උන්වහන්සේ අනුගමනය කරල නිවන් අවබෝධ කර ගන්න කියල.

“තුම්හේහි කිච්චං ආතප්පං අක්ඛාථාරෝ තථාගතා” – තථාගතයන් වහන්සේ මාර්ගය කියා දෙනවා හැර වෙන කුමක් කරන්නද?

(ඉතිරි කොටස ලබන කලාපයෙන්)

පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර තෙරුන් වහන්සේ විසින් යළි මතු කළ සැඟවුනු දහම් කරුණු ඇසුරෙන් සකස් කළේ:

නීතිඥ චන්දන සිරිවර්ධන

scroll to top