දුන් අයටත් ගත් අයටත් සෙත සැලසෙන බෞද්ධයාගෙ දන්සැල

hbp-01-9.png

ලොව්තුරා බුදුන් වහන්සේ වැඩ ඉන්න කාලයේ හිටපු දානපතියන්ගෙන් අනේපිඬු සිටුතුමා තමයි මුල් තැනම හිටියෙ. එතුමා තරම් දන් දුන්න කෙනෙක් ඒ කාලයේ හිටියෙ නැති තරම්. බුදුන් සරණ යන්නත් පෙර පටන්ම තමන් දැනගෙන හිටපු ලෞකික දහමට අනුව දුගී මගී යාචකාදීන්ට දන් දුන්න බව සඳහන් වෙනවා.

දැන් මේ කියන්න යන්නෙ එතුමා ගැන නෙවෙයි. එතුමා දුන්න දන්සැල්වලට කිසිම සම්බන්ධයක් නැතිව දේව අත්බැවකට ගිය කෙනෙක් ගැන. දකුණු අත රත්තරන්වලින් බබලන දෙවි කෙනෙක් දෙව්ලොව හිටියා. මේ දෙවියන්ගෙ කලින් අත්බැව ඇඳුම් මහන්නෙක්. ඉතින් ඒ මනුස්සයා තමන්ගෙ රැකියාව කරන ස්ථානය තිබුණෙ අනේපිඬු සිටුතුමා දන්සැල් දෙන පැත්තෙමයි. ඒ දන්සැල්වලට මේ මනුස්සයගෙ කිසිම සම්බන්ධයක්වත් කිසිම දායකත්වයක්වත් නෑ. නමුත් ඔහු රැකියාව කරන තැන, එහෙම නැත්නම් ඇඳුම් මහණ තැන පිහිටල තිබුණෙ අර දැන්සැල් තියෙන පැත්තෙ. ඉතින් දන්සැල හොයාගෙන එන දුගී මගී යාචක ආදී කොටස් ඔහුගෙන් පාර අහනවා. මේ මනුස්සයා කරන්නෙ රැකියාව කරන අතරතුර ඔළුව උස්සල බලල, දන්සැල තියෙන්නෙ අන්න අර පැත්තෙ කියල අත දික් කරල පෙන්වන එක. ඊට එහා දෙයක් කළේ නෑ. ඉතින් ඒ පිනෙන් තමයි දේව අත්බැවකට ගිහින්, අර නිතරම දික් කරල පෙන්වපු අත රත්තරන්වලින් බබලන්න ගත්තෙ. කිසිම සම්බන්ධයක් නැතුව ඒ විදිහට දන්සැල තියෙන දිසාව විතරක් පෙන්වල ඒ තරම් දෙයක් ලැබෙනවද කියල කෙනෙකුට පුදුම හිතෙන්න පුළුවන්.

දාන, සීල, භාවනා කියන කාරණා තුනෙන් මුල් එක තමයි දානය. ඒ වගේම තමයි ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න පූර්ණ කරන දස පාරමිතාවලින් මුලින්ම සඳහන් වෙන්නෙත් දාන පාරමිතාව. ඉතින් ලෞකික, ලෝකෝත්තර මාර්ග දෙකටම එක සේ උදව්වෙන පිනක් තමයි දානය කියන්නෙ. දානය කිව්වම ආහාරපාන විතරක් නෙවෙයි තවත් බොහෝ දේවල් අයිතියි. දන් දෙන ක්‍රම එක එක විදිහට ධර්මය පුරාවටම විග්‍රහ කරල තියෙනවා. දක්ෂිණ විභංග සූත්‍රයට අනුව දන් දෙන්න පුළුවන් ක්‍රම 13 ක් විග්‍රහ කරල තියෙනවා. ඒ ගැන මේ සඟරාවෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම විස්තර කරල තියෙනවා. මේ මොන ක්‍රමයට දුන්නත් දානය කියන්නෙ ඉතාම වටිනා දෙයක්.

ඒ වගේම අපි නොදන්න නොදැක්ක තවත් පැතිකඩක් තියෙනවා. බොහෝවිට මේ දන්සැල් දෙන්නෙ, ලොව්තුරා බුදුන් වහන්සේ විසින් පිහිටවපු සම්බුද්ධ සාසනය මුල් කරගෙන. සාරාසංඛ් කල්ප ලක්ෂයක් පෙරුම් පුරද්දි උන්වහන්සේ තරම් දන් දුන්න කෙනෙක් මේ තුන් ලෝකයේම නෑ. කෙනෙකුට අදටත් දන්සැලකින් බලෙන් හරි අඬගහල කන්න බොන්න දෙනවා. ඒ කියන්නෙ උන්වහන්සේ දුන්න දානයේ ප්‍රතිඵල අදටත් මිනිස්සු භුක්ති විඳිනවා. ඒක වෙසක්, පොසොන් කාලෙට ලංකාවට එන විදේශිකයන් පවා පුදුමයට පත් කරවන සිදුවීමක්. ඉතිං උන් වහන්සේගෙ දේශනාවක් තමයි, කෙනෙක් අත හෝදල අහක දාන ඉඳුල් වතුර ටිකෙන් පවා කුසගින්න නිවාගන්න පුළුවන් ජීවියෙක් ඉන්නව නම්, අන්න ඒ අයටත් මේ ඉඳුල් වතුර ටික දානයක් වේවා කියල දැම්මත් ලැබීම තියෙනව කියල.

ඒ වගේම තමයි මේ දන්සැල් පවත්වන වෙසක්, පොසොන් වගේ විශේෂ පසළොස්වක පොහොය දවස්වලට තවත් විශේෂ දෙයක් දකින්න පුළුවන්. ඒ තමයි ගමක, නගරයක ඉන්න සාමාන් යෙන් නිතර නිතර පින් දහම් කරන සැදැහැවතුන්ට අමතරව, සමාජ සම්මතයේ නරක විදිහට පිලිගන්න අය, එහෙම නැත්නම් දඩබ්බර දාමරික අය පවා එකමුතු වෙලා දන්සැල් දෙනවා. ලෝක සම්මතයේ ගත්තම මස් මාළු වෙළඳසැල්, සුරා සූදු කරන අය පවා එකට එකතු වෙලා මහා දන්සැල් පවත්වනවා. එතකොට ඒ අය වර්තමානයේ මොන දේ කළත්, සම්බුද්ධ සාසනය මුල් කරගෙන දෙන දන්සැලේ ආනිසංස ඒ අයටත් කවදහරි ඇදිල එනවා. මේ ගැන කතා කරනකොට අපදාන පාලියේ එන කතාවක් තියෙනවා. එක්තරා වැද්දෙක් සතුන් දඩයම් කරන්න ගිහින් එන ගමන් තෙත සිවුරක් වේලෙන්න දාල තියෙනව දකිනවා. මේ වැද්දා ජීවිකාවට කරන්නෙ සත්තු මරන එක. නමුත් මේ සිවුර දැකල පැහැදීමක් ඇතිවෙලා සිවුර වේලෙනකල්ම පවන් සැලුවා. දැන හෝ නොදැන බුද්ධ සාසනයට සම්බන්ධ භික්ෂූණ් වහන්සේ නමකගේ සිවුරටයි එහෙම කළේ. ඉතින් ඒ පින් කුසල් බලයෙන් මේ ගෞතම බුද්ධ සාසනයේ අරිහතුන් වහන්සේ නමක් බවට පත්වුණා. මේ වගේ උදාහරණ අපදාන පාලියේ ඕන තරම් තියෙනවා.

ඒ නිසා ඕනෑම කෙනෙක් තවත් කෙනෙකුගේ ප්‍රයෝජනයට දෙන යහපත් දෙයක් වළක්වන්න හොඳ නෑ. එහෙම කළොත් ඒකෙන් එන ප්‍රතිඵලයත් ඒ වගේ. දැන් මේ එහෙම කතාවක් තමයි කියන්න යන්නෙ.

එක්තරා අවස්ථාවක ලොව්තුරා බුදුන් වහන්සේ වැඩ ඉන්න කාලයේ මසුරු සිටු කෙනෙක් හිටියා. ඔහු ළඟ ඔහුගේ දරුවන්වත් නොදන්න පංච මහා නිධානයක් තිබුණා. ඔහු තමන්ගෙ මරණයට පෙර ඒ නිධානය ගැන කියන්නෙ නැතුව, තමන් සතුව එවෙලෙ තිබිච්ච රන් කාසි දරුවන් අතර සමසේ බෙදල දීල මේ විදිහෙ අවවාදයක් දුන්නා. මේ කාසි කාටවත් නිකං දෙන්න එපා. එහෙම දුන්න කියල කවදාවත් වැඩි වෙන්නෙ නෑ. මේවා යොදවනව නම් ලාබ ලබන්න මිසක් අලාභයක් වෙන දේකට යොදවන්න එපා. මෙතැනින් කාසියක් අරගෙන තව කෙනෙකුට දුන්න කියන්නෙ කාසියක් අඩු වෙනවා කියන එක. ඒ නිසා කවදාවත් නිකං දෙන්න එපා.

මේ අවවාදය මහා විනාසයක් කරගන්න හේතු වුණ, මහා මසුරු (ලෝභ) හිතක් එක්ක දුන්න අවවාදයක්. මේ මසුරුකමත් එක්කම අර පංච මහා නිධානය තියෙන තැනත් හිතේ තියාගෙනම සිටුවරයා මළා. මැරිල ගිහින් රොඩී පවුල් දාහක් ඉන්න තැනක කාන්තාවකගේ කුසේ උප්පත්තියට ගියා. ඉතින් වෙනදා බැලමෙහෙවරකම් කරල ජීවත් වුණ මේ මිනිස්සුන්ට එක පාරටම කන්නවත් නැති වුණා. කවුරුවත් වැඩක් දෙන්නෙ නැති තැනට පත්වුණා. මේ පවුල්වල නායකයන් එකතු වෙලා කතා වුණා, කවුරු හරි කාලකණ්නියෙක් අපි අතරට ඇවිත් තියෙනවා, ඒකයි අපිට කෑම වේලක්වත් හොයාගන්න බැරි වෙලා තියෙන්නෙ කියල. ඒ නිසා ඒ අය මොකද කළේ, මේ පවුල් දහස දෙකට බෙදිල තැන් දෙකකට ගියා. දැන් එක බාගයකට අඩුවක් නැතුව නැවතත් බැලමෙහෙවර ලැබෙනවා, හැබැයි අනෙක් බාගයට නෑ. ඔය විදිහට නොලැබෙන පිරිස තව දුරටත් වෙන් කරගෙන වෙන් කරගෙන ගිහින් අර ගැබ් ගත්ත කාන්තාවට යන කල්ම වෙන් කළා. දැන් මේ කුසේ ඉන්න එකා තමයි කාලකණ්නියා කියල අඳුනගෙන, ඒ කාන්තාව විතරක් තනිකරල අනෙක් අය වෙන් වුණා.

ඔහොම ගිහින් මේ දරුවා ඉතාම විකෘති කෙනෙක් විදිහට ඉපදුනා. දැන් අර කාන්තාව දරුවා උස් මහත් වුණාට පස්සෙ දාල යන්න ගියා. මේ ළමයා තැන තැන ගියත් කොහෙන්වත් කන්න ටිකක්වත් ලැබෙන්නෙ නෑ. ඔහොම යන අතරෙ අර කලින් ඇත්බැවේ තමන්ගෙ සිටු මැදුරටත් ගියා. ජාති ස්මරණ ඥානයත් පහළ වුණා. ඒ නිසා
මතක් වුණා, මම මේ සිටුගෙදර සිටුතුමා කියල. ඇතුලට ගියාම තමන්ගෙ කලින් අත්බැවේ පුතා ඉන්නව දැකල ළඟට ගිහින් කතා කළා. ඒ අය මොකද කළේ, තාත්ත දුන්න අවවාදය මතක් වෙලා මේ හිඟන ළමයව එලියට ඇදල දැම්මා.

ඉතින් මේ අවස්ථාවේ ලොව්තුරා බුදුන් වහන්සේ මහා සංඝයා වහන්සේලාත් සමග පිණ්ඩපාතෙ වඩිනවා. උන්වහන්සේ මේ ළමයව දැකල අර සිටු පුත්‍රයට එන්න කියල පෙර විස්තරය කිව්වා. ඒත් පිලිගත්තෙ නැති නිසා, අර පංච මහා නිධානය තියෙන තැන මේ ළමයම කිව්වම පිළිගත්තා. ඊට පස්සෙ ලොව්තුරා බුදුන් වහන්සේ දානයේ තියෙන වටිනාකම පෙන්වල දුන්නම, මේ සිටු පුත්‍රයා ඇතුලු සියලු දෙනාම තෙරුවන් සරණ ගියා. මේ එක සිදුවීමක් විතරයි. ඒ වගේම දානය නිසා ලැබුණ ලැබීම් ගැනත් ඕන තරම් දහම් කතා තියෙනව.

කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ ඉන්න කාලයේ දුගියෙක් හිටියා. ඔහු කොච්චර දුගියෙක්ද කියනව නම්, හැමෝම ඔහුට කිව්වෙ මහ දුගියා කියල. ඒ දුගියයි ඔහුගෙ බිරිඳයි ජීවත් වුණේ බැලමෙහෙවරකම් කරල ලැබුණ දේකින්. මේ අතර කාශ් ප බුදුන් වහන්සේ කෙරෙහි පැහැදුන එක්තරා මනුස්සයෙක්, පිරිසත් එක්කරගෙන දානයක් දෙන්න ඕන කියල හිතල ඒකෙ වටිනාකම දැකල, කාශ් ප බුදුන් වහන්සේ ප්‍රමුඛ 20,000 ක් සංඝයා වහන්සේලාට ආරාධනාවක් කළා. ඉතින් කාශ්‍යප බුදුන් වහන්සේත් මේ ආරාධනාව පිලිගත්තා. දානය බාරගත්ත මනුස්සයා දැන් ගෙවල් ගානෙ ගිහින් දන් දෙන්න පුළුවන් අය හොයාගෙන නම් ලැයිස්තුවක් හදනවා. එක එක ගෙවල්වලින්, මම එක භික්ෂූන් වහන්සේ නමකට දන් දෙන්නම්, මම දෙනමකට දන් දෙන්නම්, මම සිය නමකට දන් දෙන්නම්… ඔය ආදී වශයෙන් විවිධ තරාතිරම්වල අය තම තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් දන් බාරගත්තා. ඔහොම යන අතරෙ අර මහ දුගියත් මුණ ගැහුණා. දැන් මේ මනුස්සය අහනවා, ඇයි උඹ දානයක් බාරගන්නෙ නැත්තෙ කියල. ඉතින්, අනේ මටවත් කන්න නැතුව මම කොහොමද තව කෙනෙකුට දන් දෙන්නෙ කියල ඇහුවා. ඒ පාර අර මනුස්සය කියනවා, බැලමෙහෙවරකම් කරල ලැබෙන දෙයින් දෙන්න පුළුවන්නෙ කියල. එතකොට මේ මහ දුගියත්, එහෙනම් මම එක ස්වාමින් වහන්සේ නමක් වළඳවන්නම් කියල
බාරගත්තා. ඒත් දාන ලැයිස්තුව හදන මනුස්සා, ඔය කිව්වට මේ මිනිහා ඕක කරන එකක් නෑ කියල නම ලියාගන්නෙ නැතුව යන්න ගියා.

දැන් මහ දුගියා ගෙදර ගිහින් වෙච්ච සිද්ධිය කිව්වා. බිරිඳටත් හරි සතුටුයි. කොහොමහරි අපි බැලමෙහෙවරකම් කරල එක ස්වාමින් වහන්සේ නමකට හරි දන් දෙමු, අපිට මේ නොලැබීම තියෙන්නෙ අපි දන් දුන්නෙ නැති නිසා, ඒ නිසා කොහොම හරි මහන්සි වෙලා මේ දානය දෙමු කියල, දෙන්නම කුලී වැඩක් හොයාගෙන ගියා. ඔහොම යද්දි එක සිටු ගෙදරකට මහ දුගියා ගියා. සිටුතුමා කතා කරල ඇහුවා වැඩක් හොයාගෙනද ආවෙ කියල. ඉතින් මේ මනුස්සයව හැමෝම දන්නවා. ඒ නිසා තමයි එහෙම ඇහුවෙ. එතකොට කිව්වා, ඔව් මම වැඩක් හොයාගෙන ආවෙ කියල. ආ ඒක හොඳයි, මම ස්වාමින් වහන්සේලා සිය නමක් වළඳවන්න බාරගත්තා, දර පළන්න තියෙනවා, ඒක කරල දීපන් කියල කිව්වා. ඉතින් මේ මනුස්සයා හරිම සතුටින් වැඩේ බාරගෙන දර ටික පළනවා. කියන කියන අනෙක් වැඩත් කරනවා. සිටුතුමා ඇහුවා, අද උඹ කවදාවත් නැතුව හරිම උනන්දුවෙන් කඩිසරව වැඩ කරනවා මොකක්ද හේතුව කියල. ඉතින් මේ මහ දුගිය කිව්වා, සිටුතුමනි මම එක ස්වාමින් වහන්සේ නමක් වළඳවන්න බාරගත්තා, ඒ නිසයි මේ මහන්සියෙන් වැඩ කරන්නෙ කියල. සිටුතුමත් හරියට සතුටු වෙලා හාල් නැලි හතරක් බැල වශයෙනුත්, සතුටින් දෙන දේ කියල තවත් වැඩිපුර හාල් නැලි හතරකුත් දුන්නා. දැන් මේ මහ දුගියට හරි සතුටුයි. අවශ්‍ය කළමණා ටික එකතු වෙනවා. ඔහුගේ බිරිඳටත් මේ විදිහටම ලැබිල තිබුනා.

මේ ක්‍රියාව සක් දෙවිඳුත් දැක්කා. දැන් එතුමටත් අවශ් වුණා මේ දානයට සහභාගි වෙන්න. ඒ නිසා වෙස් වලාගෙන ඇවිත් අර මහ දුගියට දානෙ උයන්න උදව් කළා. මේ සිද්ධිය කාශ් ප බුදුන් වහන්සේ මහා කරුණා ඥානයෙන් දැක්කා. ලොව්තුරා බුදුන් වහන්සේලාගේ සිරිතක් තියෙනවා, උදේ පාන්දර මහා කරුණා ඥානයෙන් ලෝකය දිහා බලනවා, අද උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියල. එහෙම බලන අතරෙ තමයි මේ මනුස්සයගෙ මේ කැපවීම දැක්කෙ. ඒ වගේම දැක්කා, මේ මනුස්සයට වෙන් කරපු ස්වාමින් වහන්සේ නමක්වත් නෑ කියල. මොකද අර ලැයිස්තුව හදපු මනුස්සය මේ කෙනාව විස්වාස නැති නිසා නම සටහන් කරගත්තෙත් නෑ. ඒ නිසා කාශ් ප බුදුන් වහන්සේ තීරණය කළා, අද මේ මනුස්සය බාරගත්ත දානය ලබන ස්වාමින් වහන්සේ මමම වෙනව කියල.

දැන් දානය සේරම ලෑස්ති කරල මහ දුගියා ගිහින් ඇහුවා, කෝ මට වෙන් කරපු ස්වාමින් වහන්සේ කියල. එතැනදි තමයි දැනගත්තෙ එහෙම වෙන් කරල නෑ කියල. ඉතින් මේ මනුස්සයා අඬා වැලපෙමින් එතැනින් යන්න ගියා. කියන්න කෙනෙක් නෑ. අන්තිමට එච්චර මහන්සි වෙලත් දානෙ පූජ කරගන්න ස්වාමින් වහන්සේ නමක් නෑ. ඔහොම අඬා වැලපෙමින් කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ ඉන්න විහාරයට ගියා. එතකොට මේ සියල්ල මහා කරුණා ඥානයෙන් බලාගෙන හිටපු බුදුන් වහන්සේ ඔහුගේ අතේ පාත්තරය තිව්වා. මේ සිද්ධිය ඉතාමත් ආශ්චර්‍ය සිද්ධියක්. ලොව්තුරා බුදුන් වහන්සේ නමක් කෙනෙකුට පාත්තරයක් අතට දුන්නොත්, ඒක බුදුන් වහන්සේට හැර වෙන කිසිම කෙනෙකුට ආපහු ගන්නත් බෑ. ඒ වගේම ඒ පාත්තරය අතේ තියෙන කෙනාගෙ මරණය පවා ඒ මොහොතේ සිද්ධ වෙන්නෙ නෑ කියලයි ධර්මයේ සඳහන් වෙන්නෙ. ඉතින් ලොව්තුරා බුදුන් වහන්සේ පාත්තරය තමන් අතට දෙයි කියල බලාපොරොත්තුවෙන් හිටපු රජවරු සිටුවරු, මම මේ ධනය දෙන්නම්, මේ සැප සම්පත්තිය දෙන්නම් කිය කියා මහ දුගියට ඇවිටිලි කළත්, මේ මහ දුගියා පාත්තරය කිසි කෙනෙකුට නොදී තමන්ගෙ නිවස කරා කාශ්‍යප බුදුන් වහන්සේව වඩම්මව ගෙන ගියා. දැන් මේ මහ දුගියා ගැන දන්න නිසා රජවරුත් මේ දෙන දානය බලන්න ගියා.

කිසි දවසක නොදැකපු ආකාරයේ ඉතාමත් සුවඳවත් මනහර දානයක් තමයි පිළියෙල කරල තිබුනෙ. ඉතින් රජවරු, මේක අපිටවත් කරන්න බෑනේ, මොහු තමයි අද දන් පිළිගන්වන්න සුදුස්සා කියල හිතල යන්න ගියා. ඒ දානෙන් පස්සෙ ඔහුට සියලු සැප සම්පත් ලැබුණා. මරණින් මතු බුද්ධාන්තරයක්ම දෙව්ලොව ඉපදිලා ඉඳල ගෞතම බුද්ධ සාසනය තියෙන කාලයේ මනුස්ස ලෝකයේ උපන්නා. වයස අවුරුදු හතේදි මහණ වුනා. ධර්මයේ සඳහන් වෙන ආකාරයට, මේ පුංචි සාමණේරයන් වහන්සේට අරිහත්වය පූර්ණ කරගන්න බාධාවක් වෙයි කියල, ලොව්තුරා බුදුන් වහන්සේ උන් වහන්සේගේ කුටිය අබියස මුරකාවලේ හිටියා. හතරවරම් දෙවිවරු හතර කොන ආරක්ෂා කරගෙන හිටියා. ඉර මුදුන් වෙන එක පවා නැවතුනා. මොකද මුන් වහන්සේ අරිහත්වයෙන් පස්සෙ දානෙ ගන්න ඕන නිසා. සැරියුත් මහරහතන් වහන්සේගෙ පිණ්ඩපාතයෙන් තමයි දාන වේල ලැබුණෙ. මේ තරම් භාග් සම්පන්න විදිහට තමයි උන්වහන්සේ ත්‍රිවිද්‍යා සහිතව අරිහත්වය පූර්ණ කළේ.

ඉතින් දන් දීම කියන එක සුළුපටු නෑ. ප්‍රධානම කාරණයක් තමයි පුළුවන් උපරිමයෙන් දන් දීම. ඒ වගේම පිරිස සහභාගි කරව ගන්න පුළුවන්නම් ඒකත් වටිනවා. අර කලින් මසුරු සිටුතුමාගෙ කතාව වගේ ඒක වළක්වන එකත් මහා විනාසයක්. දැන් මේ කියන්න යන්නෙ, තමන්ගෙ උපරිමයෙන් පිරිස සහභාගි කරවගෙන පොදුවේ දන් දෙන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ තමයි වර්තමානයෙත් බොහොම ජනප්‍රිය දන්සැල් දීම. හැබැයි මේ කියන්න යන්නෙ නියම බෞද්ධ ක්‍රමයට දෙන දන්සැලක තියෙන වටිනාකම ගැන.

දන්සැලක් දෙනකොට ගාණක් මිම්මක් හිතා ගන්න බෑ. පොදුවේ තමයි දෙන්නෙ. මූලිකම අරමුණ දුගී මගී යාචක කියන කොටස්. දුගී කියල අදහස් කළේ, තමන්ට දෙයක් තනිවම කරගන්න බැරි, වත්පොහොසත්කම් නැති අය. සමහර විට හරි හම්බ කරන දේ කන්න බොන්නවත් මදි. දුප්පත් අය කියන්නෙත් මේ අයට. අනෙක් කොටස යාචක. කෙනෙකුට අතපාල ජීවත් වෙන අය. ඉන්න හිටින්න පවා තැනක් නෑ. අනුන් දෙන දෙයක් කාල බීල ඇඳල තමයි ජීවත් වෙන්නෙ. ජීවත් වෙන්නෙ මහපාරේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොහේ හරි අගුපිළක ලැගල ඉන්නව වෙන්නත් පුළුවන්. අනෙක් කොටස තමයි පොදුවේ යන එන අය. ඒකට වත්පොහොසත්කමක් බලන්න බෑ. ඕනෑම තරාතිරමක කෙනෙක් වෙන්න පුළුවන්. ගුණ මහත්වයක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, නොතිබෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ කොටස් තුනටම පොදුවේ එකට දන් දෙන ක්‍රමයක් තමයි සාමාන්‍යයෙන් දන්සැලකින් කරන්නෙ.

දැන් අපි ගෙදරකට සංඝයා වහන්සේලා වඩම්මවල, එහෙම නැත්නම් වැඩිහිටි නිවාසයකට හෝ ළමා නිවාසයකට හෝ දානයක් දෙනව වගේ නෙවෙයි. දන්සැල බොහෝවිට තියෙන්නෙ නිතර යන එන පොදු ස්ථානයක. කිසිම ආරාධනාවක් නැතුව ඕනෑම කෙනෙකුට ඒ දන්සැලෙන් දෙන ආහාර පාන හෝ වෙනත් ඕනෑම දෙයක් ලබා ගන්න බාධාවක් නෑ. එතකොට පෙර පටන්ම බෞද්ධ අබෞද්ධ දෙපිරිසම දන්සැල් දෙනවා. අදත් දෙනවා. හැබැයි බෞද්ධයෙක් නම්, දෙන්නම් වාලෙ දෙන්නෙ නැතුව මේ දන්සැල ඥාන සම්ප්‍රයුක්තව හේතුඵල දැනගෙන දෙන්න පුරුදු වෙන්න ඕන. පොදුවේ දෙන නිසා කරුණා සාසනයට අයිති වෙනවා. එදා පොදුවේ පරිහරණය කරපු දේවල් වැට මායිම් ගහගෙන වෙන් කරගෙන නැති කරපු නිසා ඒවා පරිහරණය කරන්න බැරුව ගියා. ඒ නිසා පොදුවේ ලෝකයට වෙච්ච ණය අප්‍රමාණයි. මේ ණය ගෙවන්න ක්‍රමයක් තමයි, පොදුවේ කිසිම බේදයක් නැතිව දන් දීම. ඒ නිසා හරි විදිහට දන්සැලක් කරනකොට තනියම කරන්න බෑ. ඒකට පිරිස සහභාගි කරවගන්න ඕන. ඒ දන්සැල හදන්න ඕන. ප්‍රමාණයක් නොදන්න නිසා ඒ දෙන දේ උපරිමයෙන් ගේන්න ඕන. සකසා දෙන දෙයක් නම් ඒකට පිරිස ඕන. දන්සැලක් දෙන්න හිතන එකත් පිරිසගේ සමගියටත් හේතුවෙන මහා පුණ් කර්මයකට මුල වෙනවා.

ඒ වගේම දන්සැලක මූලික අරමුණක් තියෙනවා. ඒ අරමුණ දන්සැල දෙන අය අනුව වෙනස් වෙනවා. විශේෂයෙන් ලංකාව වගේ රටක ජාති ආගම් භේදයකින් තොරව දන්සැල් දෙනවා. රටේ ස්වභාවික විපත්තියක් වුණ වෙලාවක මේක හොඳට බලාගන්න පුළුවන්. ජාති ආගම් බේදයක් නැතිවයි මිනිස්සු යම් යම් දේවල් දෙන්නෙ. එතකොට නියම බෞද්ධ ක්‍රමයට දෙන දන්සැලකයි අබෞද්ධ ක්‍රමයට දෙන දන්සැලකයි ලොකු වෙනසක් තියෙන්න ඕන. බෞද්ධයෙකුගෙ මූලික අරමුණ නිවන. කරන කියන ඕනෑම දෙයක් නිවන මූලිකවයි කරන්නෙ. අබෞද්ධයෙක්ගෙ අරමුණ වෙන එකක්. හොඳ නිසා දෙනවා, ස්වර්ගය ආදී සුගති සම්පත් ප්‍රාර්ථනා කරනවා. නිවන් අරමුණක් ඒ අයට නෑ. ඒත් ඒ කරන්නෙත් යහපත් චේතනාවකින්.

ඉතින් බෞද්ධයෙක් හැටියට කොහෙන්ද පටන් ගන්නෙ? මුලින්ම හිතන්න ඕන දානයේ වටිනාකම ගැන. මේ වටිනාකම ආදර්ශයෙන් පෙන්වපු මහා උත්තමයෙක් ඉන්නවා. ඒ තමයි ලොව්තුරා බුදුන් වහන්සේ. උන්වහන්සේ තරම් දන් දුන්න කෙනෙක් මේ තුන් ලෝකයේම නෑ. උන්වහන්සේව ආදර්ශයට අරගෙන ත්‍රිවිධ රත්නයේ ගුණ මුල් කරගෙන ඒ කෙරෙහි පැහැදිලා තමයි අපි මේ දන්සැල දෙන්නෙ. තෙරුවන් කෙරෙහි අංශුමාත්‍රයක හෝ පැහැදීමෙන් කෙරෙන පින්කමක් මෙලොව පරලොව අභිවෘද්ධිය ලබා දීල නිවනින් තමයි කෙළවර වෙන්නෙ. ඒ එක පැත්තක්. ඒ වගේම බෞද්ධයෙක් හැටියට තවත් වටිනා පැත්තක් හිතන්න තියෙනවා. මෙතැනදි කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් තමයි දන්සැල දෙන පිරිස. අනෙක් කොටස තමයි ලබන පිරිස. බෞද්ධයන්ට පුළුවන්, දෙන කෙනාට වගේම ගන්න කෙනාටත් යහපතක් වෙන විදිහට දන්සැල දෙන්න.

මුලින්ම දන්සැල දෙන පිරිස ගැන බලමු. අපි ඔසු පැන් දන්සැලක් දෙනව කියල හිතන්න. ඉතින් මුලින්ම හිතට ගන්න ඕන, කෙනෙක් මේ දන්සැලට එන්නෙ විඩාව නිසා පැන් ටිකක් බොන්න කියන කාරණය. ඒ ඔසු පැන් ඒ වෙලාවට අමෘතයක් වගේ අර විඩාව නිකම්ම නිවෙනවා. ඒ වගේම තමයි, ලෝක සත්වයා කාමයන් පස්සෙ දුවල සසර පුරාම විඩාවට පත්වෙලා ඉන්නෙ. ඒ විඩාව නිවන්න පුළුවන් ලොව්තුරා බුදුන් වහන්සේ දේශනා කළ අමා දහම් පැන් පානය කළොත් විතරයි. මේ දෙන ඔසු පැන් පානය කරල විඩාව නිවා ගන්නවා වගේ, කවදහරි මේ දන්සැලට එන අයටත් ඒ සසර විඩාව නිවේවා කියල පිළිගන්වනවා. ඉතින් මේ දෙන පැන් පොද ඒ විදිහට හිතල දෙනවා. ඒ ඔසු පැන් පානය කරන කෙනා දුන්න කෙනා කෙරෙහි පැහැදෙනවා. පැහැදෙන්නෙ විශේෂ ගුණයකට. නිරාමිස සුවයට. ඒකෙන් දුන්න කෙනාට වගේම ගත්ත කෙනාටත් මහා සෙතක් ශාන්තියක් සැලසෙනවා. සමහරවිට ඒ ගත්ත කෙනා බුදුන් වහන්සේ ගැන හෝ එහෙම උත්තමයෙක් ගැන අහලවත් නැති වෙන්න පුළුවන්. ඒත් කවදහරි සහනයක් සැනසීමක් ලැබෙනවා.

ඒ වගේම තමයි, දන්සැලට පිරිස සහභාගි කරවා ගැනීම. ඒකත් ඒ අයට සෙතක් සිද්ධ වෙන විදිහට කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි දන්සැලට මුදල් ආධාර එකතු කරන්න යනව කියල හිතමු. ගෙයක් ගානෙ ගිහින් ආධාර එකතු කරනවා. එතකොට නිකම්ම එකතු කරන්නන් වාලෙ එකතු කරන්නෙ නැතුව ඒකත් ඥාන සම්ප්‍රයුක්තව කරන්න පුළුවන්. ඒ අයට අමුතුවෙන් පහදල දෙන්න දෙයක් නෑ. දන්සැල කරන කෙනෙයි ඒ පැහැදීමෙන් යන්න ඕන. ලොව්තුරා බුදුන් වහන්සේ පෙන්වා දුන්න ක්‍රමවේදය අනුගමනය කරමින් මම දන්සැල දෙන්නෙ. ඒ දන්සැල මට තනියම කරන්න අමාරුයි. ඒත් මම දන්නවා, මේ දන්සැලේ වටිනාකමත්, පිරිස සහභාගි කරගැනීමේ වටිනාකමක්. ඒ වගේම තමයි, බුද්ධ සාසනය උදෙසා කරන පින්කම්වල අවසාන ප්‍රතිඵලය. මගේ බලාපොරොත්තුවත් ඒ අවසාන ප්‍රතිඵලය කරා යන්න. ඒ ප්‍රතිඵලයට යන්න තියෙන යම්කිසි බාධාවක් තියෙනවනම්, මේ කරන පිනෙන් ඒ බාධාවන් යම් ප්‍රමාණයකින් හරි අඩු වෙයි. ඉතින් ඒකට මට සහයෝගයක් දෙන කෙනෙක් ඉන්නව නම්, අඩුම තරමෙ මගේ මේ සත්කටයුත්තට විරුද්ධත්වයක් හරි නොදක්වා ඉන්නවනම් ඒකත් බොහොම වටිනවා. ඒ අයටත් කවදහරි මේ මහා කටුක සසරින් මිදෙන්න හේතු වාසනා වේවා කියල පැතුමක් තියාගෙන අර ආධාර එකතු කරනවා. ඉතින් ආධාර කරන අය අංශුමාත්‍රයක් හරි පැහැදිලා තමන් වියදම් කරන මුදලින් කොටසක් දුන්නොත්, බොහොම සතුටින් ඒ අයටත් ආශිර්වාද කරල ඒක ලබාගන්නවා. ඒ ආශිර්වාදය ලබන අයටත් මහා සෙතක් වෙනවා. මේ තමයි නියම බෞද්ධ ක්‍රමය. මුදල් දුන්න කෙනා බෞද්ධ නොවෙන්න පුළුවන්. නමුත් පැහැදුනේ බෞද්ධ ක්‍රමයකට. ඒ නිසා කවදහරි ඒ අයටත් මග පෑදෙනවාමයි. ඒකයි මේ බුද්ධ සාසනය ආශ්චර්‍යයි අත්භූතයි කියන්නෙ.

අනෙක් කාරණය තමයි දන් දෙන දාන වස්තුව. ඒකත් වැදගත්. කෑමක් බීමක් නම් ප්‍රණීතයෙන් පිරිසිදුව දෙන්න ඕන. එතකොට තමයි ගන්න කෙනාගෙ හිත පැහැදෙන්නෙ. ටික ටික දුන්නත් පිළිවෙලට පිරිසිදුව දෙන්න ඕන. මේ යාචකයෙක්නෙ කියල හිතල වෙනම දෙන්නෙ නෑ. පිරිසිදුකම, බෞද්ධකම ආදර්ශයෙන් පෙන්වන්න ඕන. පැහැදෙන්නෙ අන්න ඒකට. දෙන ආහාරයටම නෙවෙයි. සමහර විට අපි දන්නෙ නැතිව ඔය අතරේ මාර්ගඵල ලාභීන්, බෝසත්වරු, ගුණ මහත්වයෙන් ඉහල අය ඉන්න පුළුවන්. පොදුවේ දෙන දෙයක් නිසා ඕනෑම කෙනෙක් එන්න පුළුවන්. ඉතින් හිතා ගන්නත් බැරි මහා පින් කන්දරාවක් කරගත්ත වෙනවා.

තවත් විශේෂ කාරණයක් තියෙනවා. සාමාන් යෙන් ලංකාව ඇතුලෙ දන්සැලක් දෙන දවස ගැන බැලුවොත් හැම තිස්සෙම වගේ පසලොස්වක පොහොය දවසක්. වෙසක්, පොසොන්, ඇසළ… ආදී විශේෂ පොහොයවල් වගේම අනෙක් පොහොය දවස්වලටත් දන්සැල් දෙනවා. මේ හැම දන්සැලකම මූලිකම අරමුණ තමයි, ඒ පොහොය දවසේ බණ භාවනා කරන්න, පෙහෙවත් සමාදන් වෙන්න, එහෙම නැත්නම් මලක් පහනක් පූජා කරන්න, පෙරහැර බලන්න පන්සලට යන පිංවත් පිරිස. එහෙම නැත්නම් ඒ වගේ සාසනික කටයුතු සඳහා පන්සලට ගිහින් නැවත එන පිංවත් පිරිස. වෙසක් පොහොය වගේ දවසක් නම්, පහන් කූඩු, තොරණ, භක්ති ගීත… ආදී වෙසක් සිරි නරඹල ශ්‍රද්ධාවක් භක්තියක් ඇති කරගන්න පිංවත් පිරිස. ලංකාව තුළ විවිධ ජාතින් ඉන්නවා. ඒ අයත් එකට එකමුතු වෙලා මේ දන්සැල් ඕනෑ තරම් දෙනවා. ඒ දෙන්නෙත් මේ වගේ පොහොය දවසක. පසළොස්වක පොහොයක් කියන්නෙ බෞද්ධ පිරිස, අරිහතුන් වහන්සේ අනුගමනය කරමින් සික්ෂා රකින දවසක්. ඉතින් එහෙම අනුගමනය කරල එන පිරිසකට තමයි දන්සැල දෙන්නෙ.

එතකොට මේ තෙරුවන් කෙරෙහි අංශු මාත්‍රයක හෝ ප්‍රසාදයක් ඇති කරගෙන නිවන් මගට මුල පුරන පින්වත් පිරිසට ඒ කටයුතුවලදි ඇති වෙන සා පිපාසා වෙහෙස මහන්සිය දුරු කරගන්න මේ දන්සැල උපකාරයක් වේවා කියන මෙත්තා සහගත අදහසින් තමයි දන්සැල දෙන්න ඕන. එතකොට හේතුවට අනුකූල ඵලය වශයෙන්, ඒ දන්සැල පවත්වන පින්වතුන්ටත් සසර ගමනෙදි ප්‍රත් පහසුකම් ලැබිල, මෙලොව පරලොවත් අභිවෘද්ධිය ලබාගෙන නිවන් සාක්ෂාත් කරගන්න ඒ සත් කටයුත්ත උපනිශ්‍රය සම්පත්තියක් වෙනවා. මේ විදිහට ඒකෙන් සිද්ධවෙන යහපත කියල නිම කරන්න බෑ. ඒ කාරණය දැන හෝ නොදැන හිටියත්, කරන්නෙ බුද්ධ සාසනය වෙනුවෙන් කරන ප්‍රතිපත්තිමය පූජාවක්. ඊට හේතුව තමයි, මේ ක්‍රියාවන් සියල්ලෙම අවසාන ප්‍රතිඵලය, පැතුවා හෝ නැතා නිවන වීම.

මේකට ධම්ම පදයේ එන සුමන නම් මල්කරුවාගේ මල් පූජාව හොඳ උදාහරණයක්. ඔහු ලොව්තුරා බුදුන් වහන්සේට පූජා කළේ රජතුමාට ගෙනියන මල්. තමන්ගෙ ජීවිතය දෙවනි කළා. නමුත් ප්‍රාර්ථනාව වුණේ ලෞකික සැප සම්පත්. ලොව්තුරා බුදුන් වහන්සේට යමක් පූජා කළාද, දන් දුන්නද, ලැබීමේ අඩුවක් නෑ කියන කාරණය ඔහු අහල තිබුණා දැකල තිබුණා. මෙලොවදී හෝ පරලොවදී හෝ අනිවාර්‍යයෙන්ම ලැබෙනවා කියල දැනගෙන හිටියා. ඉතින් ඒ නිසයි පූජාව කළේ. නමුත් ලොව්තුරා බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ට, මේ සුමන කියන මල්කරුවාගේ පූජාව ගැන වර්ණනා කළා. දිවි පරදුවට තියල කරපු මේ මහා පූජාවේ ආනිසංස කිව්වා. ලැබෙන සම්පත්තිය පෙන්නුවා. අවසානයේ කල්ප ලක්ෂයකින් පසු පසේ බුදුවරයන් වහන්සේ නමක් වෙන බවත් දේශනා කළා. ඉතින් බුද්ධ සාසනය වෙනුවෙන් යමක් කරන එකේ ප්‍රතිඵලය තමයි ඒ.

අනෙක් පැත්ත හිතුවොත්, බෞද්ධයෙක් වශයෙන් කවුරු හරි දෙන දන්සැලකට ගියා කියල හිතමු. ඔබ උදේ පන්සලට ගිහින් දවසම පෙහෙවස් සමාදාන වෙලා හවස පාවාරණය කරල ගෙදර යන ගමන් ගමේ අය එකතු වෙලා කෝපි දන්සැලක් දෙනවා. ඉතින් ඒ දන්සැලට ඔබටත් එන්න කියල කෝපි කෝප්පයකින් සංග්‍රහ කරනවා. දැන් ඔබටත් පුළුවන් බෞද්ධයෙක් වශයෙන් මෙහෙම හිතන්න. අද මම දවසෙම පෙහෙවස් සමාදන් වෙලා, බණ භාවනා කරල කායික වශයෙන් විඩා වෙලා ගෙදර යන ගමන් මේ දන්සැලෙන් කෝපි කෝප්පයක් බීල විඩාව දුරුකරගෙන ලොකු ප්‍රබෝධයක් ඇති කරගත්තා. ඒ නිසා මට අද තවත් බණ භාවනා ටිකක් කරගන්න පුළුවන්. ඒක කරගන්න පුළුවන් වුණේ මේ දන්සැල නිසා. එහෙම හිතල මේ දන්සැල දුන්න අයටත්, සහභාගි වුණ අයටත්, අංශුමාත්‍රයකින් හරි උදව් උපකාර කළ අයටත්, සුවපත් වෙත්වා, මා ලැබූ සැනසීම ඒ අයටත් ලැබේවා, ආයුස-සැපය-වර්ණය-බලය-පටිභාන නුවණ ලැබේවා කියල හිතින් හරි ආශිර්වාද කරල යන්න පුළුවන්. ඒක ඒ දන්සැල දුන්න අයට මහා සෙතක් වෙනවා.

ඒ නිසා දන්සැල්වලින් දෙන ඒ සංග්‍රහ භුක්ති විඳින්න යන පින්වත් පිරිසත්, රස තෘෂ්ණාවෙන් දන්සැල ගොඩවෙන්නෙ නැතිව, තමන්ට තියෙන සා පිපාසා වෙහෙස මහන්සිය ආදිය දුරු කරගෙන, යහපත් සිතින් තෙරුවන් කෙරෙහි චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන, නිවන් මගට උපකාරයක් වේවා කියන අදහසින් ප්‍රත් වේක්ෂාවෙන් යුක්තව ඒ සංග්‍රහ භුක්ති විඳින්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම ඊට ප්‍රති උපකාර වශයෙන්, ඒ දන්සැල දුන්න පින්වත් පිරිසටත්, ඒ කරගත්ත පින හේතුවෙන් අවසානයේ නිවන් මග පූර්ණ කරගන්නම හේතු වේවා කියල වචනයෙන් බැරිනම් හිතින් හරි පතන්න පුරුදු වෙන්න ඕන.

ඊළඟ කාරණය තමයි, දන්සැල අවසානයේ බෞද්ධයන් වශයෙන් කළ යුතු වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි දන්සැලට සහභාගි වෙච්ච සියල්ලන්ටම මහා පුණ්‍යානුමෝදනාවක් කිරීම. එහෙම කරන්න පුළුවන්නම් තවත් හොඳයි. ඇයි ඒක වැදගත් වෙන්නෙ කියල හිතෙන්න පුළුවන්. මේ මනුස්ස අත්බැව තමයි කෙනෙකුට විශේෂයෙන් පිනක් හෝ පවක් කරන්න පුළුවන් තැන. සංඛාර ලෝකය කියන්නෙ. ඒකයි. හොඳ නරක දෙකටම තැන. අග්‍ර ඵලය වන සම්මා සම්බුද්ධත්වය වගේම අවීචි මහා නරකාදියට වුණත් වැටෙන්න පුළුවන් තැන. අපට සහයෝගය දුන්න, පෙනෙන වගේම නොපෙ‌නෙන පිරිස් ඉන්න පුළුවන්. ඒ වගේම මේ දන්සැල දැකල සතුටු වෙච්ච දිව්‍ය බ්‍රහ්ම කොටස් ඉන්න පුළුවන්. මේ මහා පුණ්‍යානුමෝදනාව ඒ අය සේරටම දුන්න තවත් දන්සැලක් වෙනවා. ඉතින් පිනෙන් පින උනන මහ උල්පතක් වගේ තමයි මේ වගේ දන්සැලක් බෞද්ධයෙක් වශයෙන් හරියට දුන්න කියන්නෙ.

අනෙක් වැදගත් කාරණය තමයි, සියල්ල අවසානයේ ඒ දන්සැල දුන්න ස්ථානය කලින් තිබුණ ආකාරයට සුද්ධ පවිත්‍ර කරල යන එක. කාටවත් බාධාවක් නොවෙන විදිහට පොදු ස්ථානයක දුන්න නිසා ඒක හරිම වැදගත්. මොකද ඒකෙන් වුණත් කෙනෙක් බෞද්ධත්වය ගැන පැහැදිලා සෙතක් කරගන්න පුළුවන්. බලන්න නියම බෞද්ධයො, දන්සැල දුන්න තැනත්, කාටවත් යන්න එන්න බාධාවක් නැති විදිහට තිබුණ වගේම පිරිසිදු කරල ගිහින්. ඒ පැහැදෙන්නෙත් අර දන්සැල දුන්න පිංවතුන්ගෙ ගුණයට. ඒ් පැහැදීමත් කවදහරි ගුණ වඩාගෙන සසර ගමන කෙළවර කරගන්න හේතු වෙනවා.

ඉතින් දැන් වැටහෙන්න ඕන, දහම් අවබෝධය තියෙන නියම බෞද්ධයෙක් දන්සැලක් දුන්නත් ලෝකයට සෙතක් කරන්න පුළුවන් වගේම, දන්සැලකට ගියත් සෙතක් කරගන්න පුළුවන් කියන කාරණය. කොටින්ම ඔහු හෝ ඇය ඇවිදින දන්සැලක් වගේ. නිතරම යමක් ලෝකයට දෙමින් තමයි ඉන්නෙ. සතෙකුට කෑම ටිකක් දුන්නත්, අනේ මේ සතාගෙ කුසගින්න නිවුණ වගේ කවදහරි සසර ගින්නත් නිවේවා කියල ආශිර්වාද කරන්න පුළුවන්. ඒකත් මෛත්‍රිය පැතිරෙව්වා හා සමානයි. එහෙම නැත්නම්, කෙනෙකුට තමන් අවබෝධ කරගත්ත ධර්මය තමන් දන්න විදිහට සුළුවෙන් හරි කියල දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම්, ඒ ජාතියේ බණක් කියන පිංවතෙකුට පහසුකමක් සලස්වල දෙන්න පුළුවන්. අඩුම තරමෙ තේ කහට එකක් හරි ගිහින් දෙනවා. ඉඳගන්න පුටුවක් හරි ගිහින් තියනවා. මේ විදිහට ඥානය මුසු කරගෙන සතුටු සිතින්, මෙත්තා කරුණා සහගත සිතින් දෙන ඕනෑම දෙයක් දෙපැත්තටම යහපතක් සැලසෙන මහා පිනක් වෙනවා.

ඒ නිසා බෞද්ධයින් සහ අබෞද්ධයින් දෙන දන්සැලක පැහැදිලි වෙනසක් තියෙනවා. නියම බෞද්ධ ක්‍රමයට දෙන දන්සැලක් නම්, දිව පිනවන්න හෝ සා පිපාසා වෙහෙස මහන්සිය තාවකාලිකව දුරු කරගෙන හුදෙක් පංචකාම ආස්වාදයක් ලබන අරමුණින් නැතිව, එයින් ඔබ්බට ගිය සදාකාලිකව දුකෙන් නිදහස් වෙන නිවීම සැනසීම තමන්ටත් අනුන්ටත් ලබාදෙන ඥාන සම්ප්‍රයුක්ත පින්කමක් වෙන්න ඕන. අති දුර්ලභව පහල වෙච්ච බුද්ධෝත්පාද කාලයක හේතු ඵල දැකල ඒ ආකාරයට දන්සැලක් පවත්වනව නම්, ඊට සහසම්බන්ධ වෙන සියළු පිරිස්වලට මෙලොව පරලොව අභිවෘද්ධියටත්, අවසානයේ නිවනටත් මූලික අඩිතාලම සැකසෙන්නත් උදව්වක් උපකාරයක් වෙනවා.

පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේ විසින් යළි මතු කළ සැඟවුනු දහම් කරුණු ඇසුරෙන් සකස් කළේ:

ෆික්රි ඉස්මයිල්
පරිගණක ඉන්ජිනේරු – ගොතටුව

scroll to top