මාර විපත්වලින් මිදිල ලෝකෝත්තර මග වඩාගන්න උපකාරී වන ආරක් ෂා හතරෙන් එකක් වන මෙත්තානුස්සතිය ගැන තමයි මේ විග්‍රහ කරන්නෙ. විශේෂයෙන් මේ කාලයේ දැනගත යුතු, නමුත් අර්ථ විපරීත වෙලා වැසී ගිය භාවනාවක් තමයි මෙත්තානුස්සතිය කියන්නෙ. මෙත්තාව කියන්නෙ මිත්‍රත්වය. නමුත් මිත්‍රත්වය කියන කොට නොයෙක් ආකාරයේ මිත්‍රත්ව තියෙනවා. සතුරා සමග සතුරු වෙච්ච කෙනෙක් දැක්කම, ඔහු සමග සතුරුකම් තියෙන අනෙක් දෙන්නා අතරත් මිත්‍රකමක් හටගන්නවා. එහෙම වෙන්නෙ තමන්ගෙ සතුරාට අනෙකාත් සතුරුකම් කරන නිසා. සතුරාගේ සතුරා මිතුරා කියන්නෙත් මේ නිසා. ඒ වගේම හොරෙක් තවත් හොරෙක් සමග මිත්‍ර වෙනවා. ඒ එකතු වෙලා හොරකම් කරන්න. ඒ වගේම සල්ලාලයා සල්ලාලයෙක් සමග මිත්‍ර වෙනවා. ඒ එකතු වෙලා සල්ලාලකම් කරන්න. ඒ වගේම ගුණවතා ගුණවතා සමග මිත්‍රයි. එහෙම වෙන්නෙ ගුණයට දෙන්නම කැමති නිසා.
මේ විදිහට ලෝකයේ මිතුරු දහම විවිධාකාරයෙන් පවතිනවා. මෙතැනදි එක දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි තමන්ගෙ මිතුරාට අවැඩක්, අසාධාරණයක්, වැනසීමක් වෙයිද කියන බිය සැකය, මිත්‍ර ධර්මයේ ප්‍රබලත්වයේ තරමට සිද්ධ වීම. තමන්ගෙ මිතුරාට දුකක් එන කොට තමන්ටත් දුක ඇතිවෙනවා. මහත් වූ මිතුරන් දෙන්නෙක්ගෙන් එක් කෙනෙක් ලෙඩ වුණොත් අනෙක් කෙනාට ඒක කනස්සල්ලක් වෙනවා.
මවක් තමන්ගෙ එකම පුතා පණ මෙන් රැකගන්නව වගේ, සියලු සත්වයන් කෙරෙහි මෙත් වඩන්න කියල බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා. ඒ වගේම ඒ මෙත් සිත අප්‍රමාණ ලෙසත් පැතිර විය යුතුයි. ඉඳින, හිටින, නිදන, ගමන් කරන මේ සතර ඉරියව්වලදිමත්, නිදාගෙන මිද්ධයෙන් තොරවත් මෙත් සිත පතුරවමින් කටයුතු කරන්න කියල බුදුන් වහන්සේ කරණීය මත්ථ සූත්‍රයේ දේශනා කරල තියෙනවා. ඒක මෙත්තා සහගත චේතනාවෙන් ලබන විමුක්තියට හේතුවෙන බවත් බුද්ධ දේශනාවක්.
මවකට දරුවෙක් ලැබුණා කියල හිතුවොත්, එතැන් පටන් මවට දරුවා කෙරෙහි දැඩි ඇල්මක් ඇතිවෙනවා. දරුවා වේගයෙන් ඇඬුවොත්, බය වුණොත්, දරුවාට රෝගයක්, හුස්ම හිරවෙන බවක්, අනාගත විනාසයකට හේතුවක් සිද්ධ වෙන බවක් මවට වැටහුණොත් ලැබෙන විමුක්තිය මොකක්ද? කැඩෙන, බිඳෙන, වැනසෙන, රෝග හැදෙන, නොයෙක් ආපදාවන් වෙන්න ඉඩ තියෙන බව දකින මවට, එබඳු දෙයක් වෙයිද කියල හිතක් ඇති වුණා නම් කොච්චර නම් වික්ෂිප්ත වෙයිද? උපාදානව උරුම නිසාම මවට නිතර බිය කම්පනය ඇතිවෙනවා. තමන් මියයන මොහොතක් එන බව වැටහුණා නම්, අනේ මගේ දරුවට මම නැති වුණොත් කවුද ඉන්නෙ කියල මහා කම්පාවක් ඇතිවෙනවා. මේ කියන්නෙ එක දරුවෙක් ගැන. දරුවො ගොඩක් ඉන්නවනම් මේ කම්පනය කොහොමට ඇත්ද? මේ තමයි මවක් දරුවා කෙරෙහි දක්වන මිත්‍ර බව. මේ මිත්‍ර බව නිසා සිද්ධ වෙලා තියෙන්නෙ විමුක්තියක් නෙවෙයි, මහා ගින්නක් බව දැන් වැටහෙනවා.
ලෝක සත්වයෝ අනන්තයි. ඒ අනන්ත ලෝක සත්වයන් අතර ඇහිපිය ගහන මොහොතක කී දෙනෙක් නම් සතුරු සතුන්ගෙ දත් පහරින්, නිය පහරින් අමු අමුවේ මැරුම් කනවද? කී දෙනෙක් නම් මර බියෙන් ලතෝනි දෙනවද? මිනිස්සු කී දෙනෙක් නම් ගහ මරා ගන්නවද? මවකට දරුවන් දහ දෙනෙක් ඉන්නව නම්, ඒ සියල්ලන්ටම මව එක විදිහට ආදරය කරනව නම්, එක දරුවෙක්ගෙ ජයග්‍රහණයක් වෙනුවෙන් ප්‍රිය සාදයක සතුට භුක්ති විඳින මවට, තව දරුවෙකුට කවුරුන් විසින් හෝ ගහන මරු පහරකින් ලතෝනි දෙන හඬ ඇහුනොත් සතුටක්, සැනසුමක් ලැබෙයිද? නැත්නම් මහත් වූ හද කම්පාවක් ඇති වෙයිද? හෘද සාක්ෂියට අනුව දෙන්න පුළුවන් පිළිතුර තමයි, මවට මහා හද කකියවන කම්පාවක් ඇතිවෙනව වගේම මවත් ලතෝනි දෙමින් අඬ අඬා කෑගහන බව. ඉතින් ලෝක සත්වයන්ට මේ විදිහට මවක් ලෙස කටයුතු කළා නම් සමවතක්, විමුක්තියක් ලැබෙයිද කියල කල්පනා කරල බලන්න. බුදුන් වහන්සේ ධර්ම දේශනා කළේ, දේශනා කළ නිසාවත්, පරපුරෙන් ගෙනා නිසාවත්, පොතේ තිබුණ පළියටවත් පිළිගන්න කියල නෙවෙයි. තමන් හොඳට හිතල බලල හදවතට එකඟව වැටහෙනව නම් පිළිගන්න කියල. මේ ගැන කී දෙනෙක් විමසල බලල තියෙනවද කියල කල්පනා කරල බලන්න.
එක අවස්ථාවක විශාඛා උපාසිකාවගෙ මිනිබිරියක් කුඩා කාලයේම මියගියා. ඇයට මහත් ආදරයකින් හිටපු විශාඛාවන්ට ඒක දරාගන්න බැරි තරම් ලොකු වේදනාවක් වුණා. ඒ කාලෙ තිබිච්ච කුල සිරිතක් අනුව, මිනිය ගෙනිහින් සොහොනකට දමල ඒ වස්ත්‍ර පිටින්ම නාගෙන, ඒ තෙත වස්ත්‍රම ඇඳගෙන තමන්ගෙ නිවෙස්වලට යන සිරිතකුත් තිබුණා. විශාඛාවත් මේ විදිහට තෙතබරිත වෙච්ච වස්ත්‍ර පිටින් යන අතරමගදි දෙව්රම් වෙහෙරේ වැඩ හිටපු බුදුන් වහන්සේ හමුවෙන්න ගියේ දහමක් අහල ශෝකය තුනී කරගන්න අදහසින්. උන් වහන්සේ විශාඛාවගෙන්, මේ අවේලාවෙ තෙත කෙස් සහ තෙත වස්ත්‍ර සහිතව කොහි යන ගමන් ආවද කියල විමසුවා. එහෙම විමසුවේ කරුණු දැනගන්න නුවණ නැති නිසාවත්, සාමාන් පුද්ගලයෙක් වගේ නිකරුණේ අහන කතාවක් විදිහටවත් නෙවෙයි. ඒ අවස්ථාව ධර්ම දේශනාවකට සුදුසු අදහසක් මතුවෙන කරුණක් බව දැනගෙන. එතකොට ඇය, තමන් මිනිබිරියට ඉතා ආදරයෙන් සිටි බවත්, ඇය මියගිය නිසා සොහොනේ දමා එන අතරතුර ශෝකය දුරු කරගන්න බුදුන් වහන්සේ සොයා ආ බවත් ප්‍රකාශ කළා.
උන් වහන්සේ ඇයගෙන් මෙහෙම අහනවා. විශාඛාවනි, ඇය ජීවතුන් අතර හිටිය නම් ඔබේ අදහස කොහොමද? ස්වාමීනී, මම ඉතා සතුටු වෙනව කියල ඇය පිළිතුරු දුන්නා. එබඳු ආදරවන්ත මිනිබිරියන් දහයක්, සියයක් හිටියනම් කොහොමද කියල උන්වහන්සේ නැවතත් විමසුවා. ස්වාමීනි, මම මහත් සතුටක් ලබනවා කියල පිළිතුරු දුන්නා. එහෙනම් මේ සැවැත් නුවර ඉන්න සියල්ලෝම ඔබේ මුනුබුරු මිනිබිරියන් නම් ඔබේ අදහස කොහොමද? ස්වාමීනි, එහෙනම් මගේ සතුට අසීමිතයි කියල ඇය පිළිතුරු දුන්නා. විශාඛාවනි, මේ සැවැත් නුවර දිනකට කී දෙනෙක් පමණ මියයනවද? ස්වාමීනි, පස් දෙනෙක්, හතර දෙනෙක්, තුන් දෙනෙක්… ආදී වශයෙන් හැම දවසකම මිය යනව කියල විශාඛාව පිළිතුරු දුන්නා. එහෙනම් ඔබට තෙත ඇඳුම් අඳින්න වෙන්න නැති, තෙත කෙස් නැති, ශෝකය කණගාටුව නැති එක දවසක් හෝ දකින්න පුළුවන් වෙයිද කියල බුදුන් වහන්සේ විමසනවා. ආදරය, ඇලීම හේතුවෙන් ශෝකය, බිය, කණගාටුව ඇති කරන බවත්, මේ ඇලුම් වස්තු නැති තැනම ශෝකය, බිය, කණගාටුව නැති බවත් උන්වහන්සේ දේශනා කළා.
එහෙනම් තමන්ගෙ දරුවන් විතරක් නෙවෙයි, අනන්ත සත්වයින් තමන්ගෙ දරුවන් විදිහට සලකල කටයුතු කළොත් මොකක් වෙයිද? ලැබෙන මෙත්තා සහගත චේතෝ විමුක්තියක් තියෙයිද? කල්පනා කරල බලන්න. මේ ලෝක සත්වයන්ට දරුවන්ට වගේ සලකල දාහයක්, බියක්, ශෝකයක් නැතිව ඉන්න ලැබේවා කියල මෙත් වැඩීම කරන කොට, ඒ හිත මොන වර්ගයට අයති වෙනවද කියල චිත්තානුපස්සනාව වැටහෙනව නම් හිතාගන්න පුළුවන්.
මේ කියන මෛත්‍රිය වඩන කොට සතෙක් බඩගින්නෙන් පීඩිත වෙලා කෙඳිරි ගානව ඇහුණොත් තමනුත් බඩගින්නෙන් ඉන්නව වගේ දාහයක් දැනෙනවා. අසල්වැසි ගෙදරක බල්ලෙක් බැඳල තියල ගෙදර උදවිය දවසක් දෙකක් ගෙදර ආවෙ නැත්නම්, එබඳු අවස්ථාවක් දැකල “අර පවුකාර කාලකණ්නි මිනිස්සු බල්ලට කරන අපරාදෙක හැටි! හිතක් පපුවක් නැති එවුන්ගෙ හැටි! බල්ල ඊයෙ ඉඳන් බඩගින්නෙ!” මේ ආදී වශයෙන් කියනවා. බැරිවෙලාවත් මහා අපාගත සත්වයෙක් පිපාසිත බව කියල කෑගහනකොට, කර්ම ශක්තියෙන්ම සකස් වෙච්ච ලෝදිය කටට වත්කරන හැටි, මහත් ගිනි සැරෙන් දැවිල, නමුත් කර්ම ශක්තිය නිසාම නොමැරී නැවතත් එතැනම පහළවෙන හැටි පෙනුණොත් මොකකින් මොකක් වෙයිද? මොනවා කියයිද? කපුටෙක් හෝ ගැරඬියෙක් සතෙක් අල්ලගෙන ඒ සතා මර හඬ නගද්දි, මරාගෙන අමු අමුවේ කනව දැක්කොත් නිහඬව ඉන්නවද? මෙත් වඩන සමහර අය සතාට වඩා කෑගහනවා. හිතට මොකක්ද වෙන්නෙ? හිතාගෙන ඉන්නෙ නම් මෛත්‍රිය නිසා කම්පාව, දුක දැනෙනව කියල. ඒ වුණාට තමන් නොදැනුවත්වම හිතට සිද්ධ වෙන දේ මොකක්ද කියල කල්පනා කරල බලන්න.
ඒ වගේම දේශකයාණන් වහන්සේ නමක් ධර්ම දේශන කරනවා. මෙත් වඩන පින්වතුන් ධර්මය ශ්‍රවණය කරනවා. මෙහෙම වෙලාවක ළඟපාතක ගැරඬියෙක් ගෙම්බෙක්ව ගිලින අවස්ථාවක් වුනොත් ගෙම්බා කෑගහන හඬ ඇහෙනවා. දැන් මෙත් සිත බලවත් නිසා බණ දේශනා කිරීමත් නවතිනවා. බණ ඇසීමත් නවතිනවා. දැන් ගැරඬියාගෙන් ගෙම්බව බේර ගන්න දුවනවා. ඉතින් මොකද වෙන්නෙ? අහපු බණ ටිකත් මතක නෑ. නවත්වපු තැනත් මතක නෑ. මේ තමයි එක් ආකාරයක මෛත්‍රිය ක්‍රියාත්මක වෙන හැටි. දැන් මෙහෙම මෙත් වඩන කොට හිත කොහාටද දුවන්නෙ? යනකොට ගැරඬියා ගෙම්බව ගිලල නම් දැන් මොකද කරන්නෙ? පොල්ලක් අරගෙන ගැරඬියට තඩි බානවා. දැන් මොකක්ද සිද්ධ වුණේ කියල හිතල බලන්න.
“ළමයිනේ මම ටිකක් භාවනා කරනකල් ගැරඬියා ආයෙත් එයිද කියල බලන්න” දැන් ළමයින්ට මෙහෙම කියල තමන් මෛත්‍රී භාවනාව කරනවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! දැන් ළමයි ඒ ගැන බලන්නෙ නැතිව ගිහින් සෙල්ලම් කරනවා. ලේන් පැටව් කෑගහනව ඇහෙනවා. භාවනාව නවත්වල පින්වතා ඉක්මනට එතැනට යනකොට ගැරඬියා ලේන් පැටව් ගිලිනවා. දැන් ළමයින්ටත් බැන බැන ඉක්මනින් භූමිතෙල් ටිකක් ගැරඬියගෙ ඇඟට හලනවා. සතුන්ට සිද්ධ වෙන මරණ බය දැකල මර හඬ දෙද්දි, උන් ගිල දමන හැටි දැකල පපුව හෝස් ගාල දාහයට පත්වෙලා. “හරි වැඩේ! මේව මාරයගෙ වැඩ! භාවනා කරන්න දෙන්නෙ නෑ!” දැන් හෙමත් හිතනවා. “කමක් නෑ, හොඳට රෑ වුණාම භාවනා කරනවා. එතකොට කරදරයක් නෑනෙ.” ඊළඟට එහෙම හිතල රෑ වෙලා භාවනා කරන්න පටන් ගන්නවා. නමුත් පැය කාලයි භාවනා කරන්න ලැබෙන්නෙ. ගෙදර බළලා මීයෙක් අල්ලගෙන කාමරේ ඇඳ යට උඩ විසි කර කර සෙල්ලම් කරනවා. මීයා මැරිල නෑ. පණ අදිනවා. එහෙ මෙහෙ දුවන්න හදනවා.
දැන් ඉතින් රෑ භාවනා කරලත් ඉවරයි. ඉක්මනින් නැගිටිනවා. ළමයින්ට කෑගහනවා. “ළමයිනේ මෙන්න බළලා මීයෙක් අල්ලගෙන!” මෙහෙම කෑගහනකොට ගෙදර අනෙක් අයත් බය වෙලා නැගිටිනවා. බළල මීයෙක් අල්ල ගත්ත නිසා කෑගහනව කියල දැනගත්තම භාවනා කරපු පින්වතාට බැන වදිනවා. “රෑ දොළහයි! මේක මහ කරදරයක්! බළල්ලු මීයො අල්ලන එක අමුතු දෙයක්ද?” මෙහෙම බනින කොට පින්වතාගෙ හිතට විසාල අමනාපයක් කලකිරීමක් දැනෙනවා. දැන් හිතින් බනිනවා. “පවුකාරයෝ! උපනුපන් ජාති ජාතිවත් මුන් ඉන්න අහලකවත් උපදින්න සිද්ධ වෙන්න එපා”. මෙහෙම කොඳුරමින් බළලට කොස්සෙන් ගහල පන්නනවා. බළල මීයත් අරගෙන ගොරවගෙන දුවනවා. මීයා කටින් අල්ලනකොට චරස් ගාල සද්දෙත් එනවා. හිත කීරි ගැහෙනවා. “හරි වැඩේ! භාවනා කරන්න තැනක් නෑ! ආශ්‍රය කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ පවුකාරයො!” මෙහෙම හිත හිතා භාවනා කරන්න හොඳ පන්සල්, හොඳ තැන් හොය හොයා යනවා. දැන් මේ වගේ අවස්ථා අපට කොච්චර නම් අහන්න ලැබෙනවද? මේ විස්තරය කිව්වෙ, මෙහෙම භාවනා කරල මෙත්තා සමාධිය පහළ වෙන්නෙ කොහොමද කියල තේරුම් ගන්න.
“මාතා යථා නියං පුත්තං – ආයුසා ඒක පුත්ත මනු රක්ඛේ” කරණීයමත්ථ සූත්‍රයේ මෙහෙම කියල තිබුණට, ඒ කාලෙ හිටපු එක්තරා මනුස්සයෙක් තමන්ගෙ භාර්යාවට ළමයෙක් ලැබෙන්න ඉඳෙද් දි සසර කලකිරිල භාර්යාව දමල ගිහින් මහණ වෙලා හිටියා. දරුවව වැදුවට පස්සෙ මව දරුවත් අරගෙන උන්වහන්සේ ළඟට ගිහින් තමන් සහ දරුවා අත්හැරල ගියාට අපහාස කරල, දරුවා උන්වහන්සේ ළඟ තියල, මට දරුව උන්නත් එකයි මළත් එකයි, ඔබට දාව ලැබුණ දරුවා තියා ගන්න, මම යනව කියල යන්න ගියා. දරුවා මහ හඬින් ඇඬුවා. පහළට බිම දිගේ පෙරළිලා ගියා. නමුත් උන්වහන්සේ ඒ දිහා ඇහැවත් ඇරල බලන්නෙ නැතිව, එබන්දක් නොවන්නා සේ නිහඬව වැඩ සිටියා. දරුවගෙ මව දරුවව අත්හැරල යනව වගේ පෙන්වල, දුරට ගිහින් ගහක් ළඟ මුවාවෙලා සිද්ධ වෙන දේ බලාගෙන හිටියා. දරුවා ළඟ තියලවත් පළක් වුණේ නැති තැන, බැන බැන ඇවිත් නැවතත් දරුවා අරගෙන යන්න ගියා. බුදුන් වහන්සේ මේ සිද්ධිය බුදු ඇසින් බලාගෙන හිටියා. මාගේ පුත්‍රයා දරුවා නිසාවත්, බිරිය නිසාවත්, ලෝකය නිසාවත් කම්පා වෙන්නෙ නෑ කියල බුදුන් වහන්සේ උදාන වාක්‍යක් දේශණා කළා. ඒ කියන්නෙ උන්වහන්සේ අරිහත් ඵලයට පත්වෙලා හිටියෙ. මේක පෙළ දහමේ තියෙන කතාවක්. (ඛුද්දක නිකාය (1) 138 පිටුව සංග්‍රාමජිත් සූත්‍රය)
මෙතැනදි මාතා කියල කිව්වෙ අම්මට නෙවෙයි, අමා මෑණියන් වහන්සේට හෙවත් බුදුන් වහන්සේට. යථා නියං පුත්තං කිව්වෙ යථාර්ථවත් නියම පුතා හෙවත් අරිහතුන් වහන්සේට. ආයුසා ඒක පුත්ත මනු රක්ඛේ කිව්වෙ, ආයුස ඒ සඳහා වෙන් කරල, යථාර්ථවත් නියෙම පුතෙක් හෙවත් එකම පුතා වන අරිහතුන් වහන්සේ නමක් බවට පත්වෙන කල් අනුරක්ෂණය කරනවා කියන එක. ඒ කියන්නෙ, බුදුන් වහන්සේ මහා දයානුකම්පාවෙන් තමන්ගෙ ජීවිත පැවැත්ම, ශ්‍රාවකයන්ගේ සුබ සිද්ධිය උදෙසා වෙන් කළා, ඒක ආදර්ශයට අරගෙන අනෙක් අයටත් මෙත් වඩන්න කියල තමයි මේ පෙන්වල තියෙන්නෙ.
ඒ වගේම වේළුවනාරාමය පිටුපස චුන්දසූකර කියන ඌරු වැද්දෙක් ඌරන් මරමින් මස් විකුණමින් ජීවත් වුණා. ඌරන් මරන හඬ වේළුවනාරාමයටත් ඇහෙනවා. කොසොල් රජතුමාත් දිනපතාම ඇවිත් බුදුන් වහන්සේගෙ සැප දුක් විමසල වැඳල පුදල යනවා. භික්‍ෂුන් වහන්සේලාත් මෙත් වඩනවා. බුදුන් වහන්සේත් මහ මෙත් වඩනවා. නමුත් ඌරන්ගෙ මර හඬ කිසිම ගැටළුවක් වෙලා නෑ. චුන්දසූකරගෙ ඌරන් මැරීම නොහොබිනා බවට ඉඟියක් හෝ පෙන්නුවනම්, කොසොල් රජතුමා චුන්දසූකරයව මොහොතකින් ඒ ස්ථානයෙන් පිටමං කරන්න තිබුණා. නමුත් ඒ වගේ ගැටළුවක් මතු වෙලා නෑ. අන්තිමට චුන්දසූකර මියයන්න පණ අදිද්දි ඌරෙක් කෑගහනව වගේ හඬ නැගුවා. ඒ අවස්ථාවේ බුදුන් වහන්සේ භික්‍ෂුන් වහන්සේලාට දේශනා කරනවා, මහණෙනි, චුන්දසූකර පාපය මිහිරියි කියල හිතාගෙන, විපාකය එනකල් සතුටු වුණා, අද ඒ විපාකය මතුවෙලා ඌරෙක් වගේ හඬනගනවා, ඔහුට ඔසුපත් නරකය උරුම වෙලා කියල.
මේ වගේ, චුන්දසූකරගෙ කටයුතු දැකලවත් කම්පා වුණේ නෑ. භික්‍ෂුන් වහන්සේ ළඟ දරුව දමල ගිය වෙලාවෙත්, මවක් දරුවෙක් රකිනවා වගේ දිවි පරදුවට තියල සියලු සතුන්ට යහපත කරන්න, මෛත්‍රිය පතුරවන්න කියල දේශනා කළා නෙවෙයි, ජාතක කරපු පියා ළඟ දමල ගිය දරුවා උන්නද මළාද කියලවත් නොබැලීම ගැන බුදුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට ප්‍රසංසා කරල තියෙන බව පැහැදිලි වෙනවා. නමුත් අද මෙත් වඩන්න යන අයට සිද්ධ වෙන මේ වගේ ප්‍රශ්ණ එදා බුදුන් වහන්සේටවත්, භික්‍ෂුන් වහන්සේලාටවත් තිබිල නෑ.
හැබැයි අද සමාජයේ ජීවත් වෙන අය තමන්ගෙ යුතුකම් ඉටු නොකර පංච කාමය භුක්ති විඳින්න, තමන්ගෙ වාසියට කපටිකමට මේ කියපු කාරණා ලෞකික ජීවිතයට ඈඳගෙන අර්ථ පටලවාගෙන වරදවා තේරුම් නොගත යුතුයි. මොකද පහත් කාමය මුල් කරගෙන තමන්ගෙ භාර්යාව, දරුවො අතරමං කරල ගිහින් වෙනත් කාන්තාවො පස්සෙ යන අයත් සමාජයේ ඉන්නවා. ඒ විදිහට කාමයට කෑදර වෙලා තමන්ගෙ යුතුකම් ඉටු නොකර පැනල යන එක වෙනම කාරණයක්. ඒකට කවද හරි විපාකයක් ලැබෙනවා. නමුත් අර අරිහතුන් වහන්සේගෙ අදහස ඒකට ගලපන්න බෑ. උන් වහන්සේ අරිහත් ඵලය පූර්ණ කරගෙන තමන් ගිහි කල වදපු දරුවටවත් ඡන්ද රාගයෙන් බැඳුනෙ නැති නිසයි ඒ විදිහට වැඩ හිටියෙ. මොකද උන්වහන්සේ දන්නවා, කම්මස්ස කෝම්හි, කම්ම දායාදෝ… ආදී වශයෙන් කර්මය මුල් කරගෙන, දායාද කරගෙන, උපත කරගෙන, නෑයා කරගෙන, පිළිසරණ කරගෙන, යම් කර්මයක් කළාද, යහපතක් නම් යහපත් දෙයක් හෝ අයහපතක් නම් අයහපත් දෙයක් හෝ ප්‍රතිඵල විදිහට දායාද කරගෙන මේ සසර ගමන යනවයි කියන කාරණය. ඒ නිසා උන්වහන්සේ දන්නවා, ඒ ළමය කවදාවත් අතරමං වෙන්නෙ නෑ කියල. මොකද යමෙක් උපන්න නම් මේ ලෝකෙ ජීවත් වෙන්න මොනව හරි ක්‍රමවේදයක් හැදෙනවා. ඒක කර්මයට යටත් වෙලා මොන විදිහට හරි සකස් වෙනවා. ඒ නිසා ලෝකය ගැන යථාවබෝධය ලබපු උන්වහන්සේගේ ක්‍රියාකලාපය පෘථජ්ජනයාගේ ක්‍රියාකලාපයට සමාන කරන්න බෑ.
පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේ විසින් යළි මතු කළ සැඟවුනු දහම් කරුණු ඇසුරෙන් සකස් කළේ:
නීතිඥ චන්දන සිරිවර්ධන