ලෝකෝත්තර මගට ආරක්ෂාවක් වූ බුද්ධානුස්සතිය නිවැරිදිව වඩන අයුරු

hbp-01-1.png

මාර විපත්වලින් මිදිල ලෝකෝත්තර මාර්ගය වඩාගන්න, සිව්රඟ සෙනගක් වගේ ඉන්න සාසනයේ ආරක්ෂා හතරක් තියෙනවා. බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය සහ මරණානුස්සතිය කියන මේ හතර සේනාව තමයි මාර්ග ආරක්ෂකයෝ වෙන්නෙ. නමුත් අද වෙන කොට මේ හතර සේනාව සඟවල මායා සේනා හතරක් විද්‍යාමාන වෙලා තියෙන බව තමයි පේන්න තියෙන්නෙ. ඒ බව විමසල බලල වටහා ගැනීම නැණවතුන් සතුයි.

මෙයින් පළමුවෙන්ම විග්‍රහ කරන්නෙ බුද්ධානුස්සතිය. මේක ඉතා යහපත් කර්මස්ථානයක්. ඒ වගේම වැඩ සිද්ධවන ස්ථානයක්. ඒ මගින් අවැඩ දුරු කරල වැඩ හෙවත් ක්‍රියා සුද්ධිය ඇති කරනවා. මේ බුද්ධානුස්සතිය මෙනෙහි කරන ක්‍රම දෙකක් තියෙනවා. නව අරහාදී බුදු ගුණ පද වශයෙන් සජ්ජායනාව එක ක්‍රමයක්. අනෙක් ක්‍රමය තමයි, සූවිසි ගුණවලින් කියවෙන පරමාර්ථ අර්ථ විග්‍රහ කරගෙන ඒ තුලින් නිවන් මග පූර්ණ කර ගැනීම. ඒ වගේම මේ ගුණ පදවලින් කියවෙන ගුණ විග්‍රහ කරන කොට, මෙපමණකින් මේ මේ පදයේ ගුණ පූර්ණ වෙනව කියල සීමා නොකළ යුතුයි.

ඒ ඇයි…?

බුදු ගුණ නම් අනන්තයි. ගුණ පදය කියන්නෙ ගුණ පෙදෙසක්. අනන්තය තුළ තියෙන පෙදෙසත් අනන්තයි. අනන්ත ලෝක ධාතු පිහිටපු අනන්ත ආකාසය ප්‍රදේශ දහයකට බෙදුවත්, ඒ ප්‍රදේශ දහයට මෙපමණකින් මේ ප්‍රදේශය පූර්ණ වෙනව කියල කියන්න බෑ වගේ, අනන්ත පද හෙවත් ප්‍රදේශ වූ බුදු ගුණ මෙපමණකින් මේ ප්‍රදේශය පූර්ණ වෙනව කියල කියන්න බෑ. යම් බුදුවරයන් වහන්සේ නමක් සාමුක්ඛන්සික දේශනා (මෝක්ෂය උදෙසා කරන දේශනා – චතුරාර්ය සත්ය කුළුගන්වා කෙරෙන අසමසම දේශනා) නියායෙන් එක ගුණයක්, නැත්නම් එක ගුණ පෙදෙසක් පිළිබඳව ගුණ ප්‍රකාශ කරන්න ගියොත්, උන්වහන්සේගේ ජීවමාන ආයුස ගෙවිල යනව මිසක් ගුණ කෙළවර නොවන බවත් උන්වහන්සේම දේශනා කරල තියෙනවා. ඒ නිසා, අනුරූප ගුණ දේශනයක් ප්‍රකාශ කරනව නම්, මෙබඳු ගුණ පෙදෙසට අයත් මේ ගුණ ඇති නිසා, මේ පදය ඇසුරේ වෙනවා, ඒක අනන්ත ගුණය තුළ ඇතුළත් කියල ප්‍රකාශ කරනව මිසක්, මෙපමණකින් මේ පදය පූර්ණ වෙනව කියල නො සිතිය යුතුයි, නොකිව යුතුයි.

රහසින්වත් පව් නොකිරීම, කෙලෙස් හී පහර දුරු කිරීම, පූජාවට සුදුසු වීම කියන මේවා ”අරහං” කියන පෙදෙසට ඇතුලත් ගුණ මිසක් පූර්ණත්වයක් පෙන්වන්න පුළුවන් කාරණා නෙවෙයි. රහසින්වත් පව් නොකිරීම කියන කාරණයෙදි අපට වැටහෙන්නෙ ගුණ කඳක අංශුවක් විතරයි. සාමාන් පෘථජ්ජන වූ මගඵල නොලබපු කෙනෙක් මේ ගුණය සිහි කරන කොට වැටහෙනවට වඩා සතසහශ්‍ර ගුණයකින් සෝවාන් මගඵල ලාභී උතුමන්ට මේ ගුණය වැටහෙනවා. ඊට වඩා සතසහශ්‍ර ගුණයකින් සකෘදාගාමි උතුමන්ට වැටහෙනවා. ඊටත් වඩා සතසහශ්‍ර ගුණයකින් අනාගාමි උතුමන්ට වැටහෙනවා. මේ විදිහට රහතන් වහන්සේලාට අනන්තව වැටහෙනවා. “ළිඳේ සිටි ගෙම්බා තම ගෙඹි දරුවාට ගවයාගේ පමණ දැක්වීමට පුම්බන්න ගොස් පැලී මැරුණා සේ” කියන ප්‍රස්ථා පිරුළ වගේ, මෙපමණකින් මේ ගුණය තියෙනව කියල සීමා තියන්න ගියොත් ඒ වගේම නිෂ්ඵල වෙනවා. ඒ නිසා රහසින්වත් පව් නොකිරීම, කෙලෙස් සැර දුරු වීම, පූජාවන්ට සුදුසු බව කියන මේවාත් අනන්ත වූ අරහං ගුණස්කන්ධයෝම වෙනවා.

අනන්ත නිසා අසීමිතයි, සඡ්ජායනා කිරීම්, මෙනෙහි කිරීම් උචිතයි. එතකොට අනන්ත වූ ගුණ ස්වභාවය වැටහෙමින් අනන්ත ගුණ ගරුත්වයේ පිහිටා බුද්ධානුස්සතිය වැඩෙනවා.

රහසින්වත් පව් නොකරන නිසාත්, කෙලෙස් හී සර දුරු කළ නිසාත්, පූජාවට සුදුසු නිසාත් අරහං නම් වේ කියල මෙනෙහි කළොත්, ඒ කාරණය පමණ දන්න කෙනෙකුගේ අදහසක්, කතාවක් විදිහට වන ප්‍රකාශයක් බව තේරුම් ගන්න ඕන. නමුත් බුදුන් වහන්සේ හැර, පමණ දකින්න සමතෙක් තුන් ලෝකයේම නෑ. දකිනවනම් අනන්ත බවම පමණක් දකිනවා. ලෝකයේ සම්මත විද්‍යාඥයෙකුගේ බහ තෝරන වයසේ පසුවන දරුවෙක්, තමන්ගෙ පියා දක්ෂ විදිහට පරීක්ෂණ කරල විශ්මයජනක නිෂ්පාදන කරන නිසා උසස් විද්‍යාඥයෙක් කියල වෙනත් කෙනෙක් කියනව ඇහිල ඒ වචන මාලාව මතක තියාගෙන, මගේ පියා දක්ෂ විදිහට පරීක්ෂණ කරල විශ්මයජනක නිපදවීම් කරන නිසා විද්‍යාඥයෙක් කියල නිගමන සහිත කතාවක් කියනව නම්, ඇත්ත වශයෙන්ම ඒක ඒ දරුවගෙ වැටහීම් සහිත කියමනක්ද, නැත්නම් බොළඳ කතාවක්ද කියල හිතල බලන්න. එතකොට ඒ අනුසාරයෙන් බුදු ගුණ මෙනෙහි කළ යුතු ආකාරයත් වටහා ගන්න පුළුවන්.

දරුවෙකුට සාගරයේ ගැඹුර, පමණ වැටහුණේ නැතත්, දියෙන් බිඳක් අරගෙන කට ගා රස බලන්නත්, ජල කඳ පිළිබඳව සීමාවක් වැටහුණේ නැතත්, කිමිදිලා නාන්නත්, කුණු හෝදගෙන කය පිරිසිදු කරගන්නත් පුළුවන්. ඒ වගේම තමන්ට වැටහෙන, තේරුම් ගන්න පුළුවන් මට්ටමින් හිතමින් ගුණ සිහි කරන්නත් පුළුවන්. එතකොට වචනය හෝ වචනවලට වැරදි විදිහට ගත්ත අරුතක් හෝ මනසේ ස්පර්ශ නොවී ගුණ අදහස් ස්පර්ශ වෙනවා. ඒ මගින් ගුණ දැනීම පහළ වෙනවා. ඒ ස්පර්ශය සුව දෙනවා. එහි ඇලීම, බැඳීම වෙනවා.

ගුණ අනුකූල ස්වභාවයට යම් පහළ වීමක් හිමිද, ඒ පහළ වීම හෙවත් භව වෙනවා. එතකොට ගුණවතෙක් ජනිත වෙනවා. බුදු ගුණ නාම රූපයන් ඇසුරෙන් බිහි වෙච්ච ගුණවතාට බුදු ගුණයේ සහජ උරුමයට හිමිවන නැණ නුවණ පහළ වෙනවා. අනිච්ච, දුක්ඛ, අනත්ත කියන පෙළ දහම මෙනෙහි කළාද, අර්ථ-ධර්ම-නිරුක්ති-පටිභාන ශක්ති සහිතව වැටහෙනවා. ඒක බුදු ගුණ ඇසුරේ ලබන වාසනා ඵලයක්. මේ විදිහට පූර්ව භාග ප්‍රතිපදා මාර්ගයත්, ඒකායන මාර්ගයත්, ප්‍රත් ක්ෂ ඵලය විදිහට අරිහත් ඵලය ලැබෙන කල් කාර්ය සිද්ධිය වෙනවා.

නව ගුණ පද වශයෙන් සජ්ජායනා කිරීමත් පූර්ව භාග නුවණ ගෙන දෙන්න හේතු වෙනවා. ඒක සිද්ධ වෙන්නෙ කොහොමද? සර්වඥතා ඥානය ප්‍රත් ක්ෂ කොට ගෙන වීත රාගී, වීත දෝසී, වීත මෝහී ගුණ වඩන නාම රූපයන් විද් මාන වෙනවා. පවිත්‍ර වූ, ප්‍රභාෂ්වර වූ දැනීමෙන් යම් හැඟීමක් දෙන ශබ්ද රූපයක් විද් මාන වෙනවද, ඒ වාග් රූප මාලාව වීත රාගී, වීත දෝසී, වීත මෝහී ගුණයන්ගෙන් නැගෙනවා. ඒ අක්ෂර රටාවත්, ශබ්ද රටාවත්, පද රටාවත්, අනුකූල නාම රූප පහළ කරන විදිහට ලෝකයට දිස්වෙනවා. ඒ රටාව ඇසුරු කිරීම නිසා නාම රූප ඇසුරක් සිද්ධ වෙනවා. ඒ ඇසුරු කිරීම ප්‍රත් ක්ෂ කරගෙන විඤ්ඤාණය පහළ වෙනවා.

ඒ විඤ්ඤාණය අනුරූප වූ නාම රූප පහළ කරනවා. එයින් අනුරූප සලායතන වෙනවා. එතකොට අනුකූල මනෝ ස්පර්ශය සිද්ධ වෙනවා. එයින් නිවීම, සැනසීම සහිත නිරාමිස සුවය ගෙන දෙනවා. එහි ඇලීම, බැඳීම වෙනවා. මූල බීජ වූ නාම රූපයෝ යම් ස්වභාවයක් වුනාද, ඊට අනුකූල වූ අනුරූපයෝ පහළ වෙනවා. ඒ මගින් බුද්ධ ගුණවතෙක් ජනිත වෙනවා. ඒ ගුණවතාට අනිච්ච, දුක්ඛ, අනත්ත සහිත දහම් ශ්‍රවණය වෙනවද, පූර්ව භාග ප්‍රතිපදා පූර්ණ නිසා ඒකායන වූ රාගක්ඛය, ද්වේශක්ඛය, මෝහක්ඛය වන මාර්ගය වැඩිල ඵල ලබනවා. අරිහත් බවට පත් වෙනවා.

මනුස්සයා ලෝකයේ පහළ වෙනකොට, ගස් ජාති, වැල් ජාති, කෘමි ජාති, තිරිසන් ජාති, මත්ස් ස්වභාව මේ මිනිස් ජාතියේ දකින්න නෑ. මනුස්සයාගේ ලෙයට ලෙය, මසට මස, හමට හම, ඉන්ද්‍රියට ඉන්ද්‍රිය බද්ධ වෙනවා. ඒ නිසා මිනිස් ජාතියේ ජාති සමානත්වයක් කායිකව පවතින බව බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා. නමුත් මුලා සහගත ලෝකයා මේ ගැන හිතන්නෙ නැතිව නොයෙක් දුශ්චරිත කරමින්, ධනයෙන්, බලයෙන්, නිලයෙන් මත්වෙලා තමන්ගෙ වංශය උසස්, කුලය උසස්, ජාතිය උසස්, තත්ත්වය ඨානාන්තරය සම්මතය අනුව මම මෙහෙම කෙනෙක් කියල සම්මත පනවගෙන, මුලා වූ ජාති අදහසක ඇලී ගැලී ඉන්නවා කියන කාරණයත් බුද්ධ දේශනාවක්.

මේ මුලා ජාති ස්වභාවයේ පිහිටල දෘෂ්ටි ගත වෙලා ඉන්න කල් නිවන් මග වැහෙන බවත් දැනගන්න ඕන. ඒ නිසා නියම ජාති පහළ වෙන පටිච්ච සමුප්පාද දහම් නියාය දැනගෙන, සසර සැරිසැරීමට හේතුවන ජාතිවල ඉපදීම මේ අත්භවයෙදිම හටගන්නා ජාති තුළින් දැනගෙන, ඒ ජාති පහළ කරන අවිද්‍යා, තණ්හා, උපාදාන, භවවලින් ඊට අනුරූප වූ නාම රූප ස්පර්ශ නොකර ඒවා පහ කරමින්, යම් ජාතියක පහළ වෙනවද, ඒ ජාතියේ ජරා මරණයෙන් පසු මතු පහළ වෙන්නෙ නැත්ද, ඒ ජාතිය ලබන ජාති මාර්ගය හොයාගෙන දැනගෙන ඊට පත්වීමට සුදුසු මග වැඩිය යුතුයි. මේ කාරණයත් බුද්ධ දේශිත ධර්ම රටාව අනුව පෙන්වන පටිච්ච සමුප්පාද විවරණයක් බව දැන ගන්න ඕන.

ප්‍රවෘත්ති කලාප හෙවත් මිනිස් භවයේ මව් කුසින් උපතේ පටන් මහල්ලෙක් බවට පත්වෙලා මියයන කල් අතර කාලය තුළ මනුස්සයා උපදින නියම ජාතිය හේතු ඵල අනුව ලැබෙන හැටි බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා. ඒ තුළින්, මරණින් මතු සසර ගමනට හේතුවන ජාති සහ ඒවාට හේතුවන මාර්ග, පටිච්ච සමුප්පන්න ධර්ම මාර්ගයෙන් දැනගෙන වටහා ගෙන, හේතු නිරෝධ ධර්ම නියායෙන් අත්හැර දැමුවම එබඳු උපතක් සිද්ධ වෙන්නෙ නෑ. ඒ සඳහා අනුපූර්ව ප්‍රතිපදාවෙන් ආර්ය ජාතිවල පහළ විය යුතුයි. කෙළවර අන්තිම ජාතිය වන අරිහතුන් වහන්සේ හෙවත් අරිහත් ජාතිය ලැබිය යුතුයි.

මෙහිදී පහළ කර නොගත යුතු ප්‍රවෘත්ති ජාති කිහිපයක් මේ විදිහට දක්වන්න පුළුවන්. මිනී මරුවා, හිංසකයා, හොරා, සල්ලාලයා, බේබද්දා, සූදුඅන්තුවා, බොරුකාරයා, කේළමා, ජඩයා, ප්‍රලාපයා, ලෝභයා, මෝඩයා. මේ ප්‍රවෘත්ති ජාති අතර ප්‍රධාන ජාති කිහිපයක් විතරයි. මේ එක් එක් ජාතියක් තුළ ස්වභාවයේ අඩු වැඩිතාවය අනුව අතුරු ජාතිකයෝ බොහෝ ඉන්නවා. මේ සියල්ලෝම දුගති හිමි ජාතිකයෝ, මතු දුගති උපතට හේතු කාරකයෝ, උපතකදි දුක් විපාකවලට හේතුකාරකයෝ. මේ ජාති පහළ වෙන්නෙ මේ විදිහට.

ප්‍රාණ ඝාතය පිළිබඳව යම් ප්‍රිය බවක්, ආස්වාද බවක්, ලාභ කීර්ති ප්‍රසංසා ලබන බවට හේතු කාරක බවක් වුණොත්, ඒ කෙරෙහි ප්‍රිය මනාප වෙලා ඒ සඳහා ක්‍රම හොයනවා, විමසුම් කරනවා. හොයපු දේ ලබනවා. දරුණු ආයුධ ඇසුරු කරනවා. සැඩ ගති ප්‍රිය කරනවා. ප්‍රාණ ඝාතයට සුදුසු අරමුණ, පුද්ගලයා මුණ ගැහෙනවා. ඊට අවස්ථාව සැලසෙනවා.

මේවා මොනවද?

ප්‍රාණ ඝාතය සඳහා හේතු ගෙන දෙන්නෙ ආකාර, ලිංග, නිමිති, උද්දේස, ප්‍රඥප්ති පහළ කරන සත්ව, පුද්ගල, ද්‍රව් සහ වස්තු. ඇස, කන… ආදී ඉන්ද්‍රියන් මගින් ගන්නා මේවායේ ඇසුර නිසා ඉහත කී ආකාර, ලිංග… ආදී නාම රූපයෝ විඤ්ඤාණයේ බැහැ ගන්නවා. ඒ නාම රූප ප්‍රත් යෙන් විඤ්ඤාණ පහළ වෙනවා. විඤ්ඤාණ නාම රූප පහළ කරනවා. ඒ නාම රූප නැවත විඤ්ඤාණ පහළ කරනවා. විඤ්ඤාණ බලවත් වෙනවා. ඒවා බලවත් නාම රූප පහළ කරනවා. එතකොට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස අනුකූල කරමින් අනුරූපව සලායතන පහළ වෙනවා. ඒ මගින් අනුරූප ස්පර්ශයන් වෙනවා. යම් නාම රූප ධර්මයක් යම් ස්වභාව ඇත්ද, ඊට ආවේණික වින්දනය පහළ වෙනවා. ඊළඟට ප්‍රිය මධුර ආස්වාද විදිහට භුක්ති විඳිමින් ඒවායේම ඇළුම් කරනවා, තණ්හාව වෙනවා. ඒ නිසාම තණ්හා කළ තැන තදින් බැඳීම හෙවත් උපාදාන වෙනවා. පවත්වා ගැනීමේ බලාපොරොත්තු දැඩි වෙනවා. එතකොට අනුරූප වූ ස්වභාවයට හිත, කය, පරිසරය හැඩ ගැහෙනවා. ඒ පහළ කිරීම හෙවත් භවය ගතියට අනුව සිද්ධ වෙනවා. කටයුත්ත ක්‍රියාත්මක වෙනවා. එතැනදි ඵලය නිපදවෙලා ඉවරයි. දැන් මිනීමරුවා කියන ජාතිය පහළ වුණා.

මේ අනුසාරයෙන් පටිච්ච සමුප්පාද ධර්ම නියාමයෙන් ප්‍රවෘත්ති ජාති පහළ වෙන හැටි වටහා ගන්න ඕන. ඒ නිසා මිනීමරුවා කියන ජාතිය හේතු ඵලයක්, පටිච්ච සමුප්පන්නයි, දුකට හේතු වෙනවා. ඊට ආසා කළත් උපන් හැම ජාතියක්ම ජරා, ව්‍යාධි, මරණයන්ට ගොදුරු වෙනවා, වැනසෙනවා. සාරත්වයක් දෙන්නෙ නෑ. නිස්සාරයි. ඒක හේතුවට අනුකූල ඵලය මිසක් කැමති සේ පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි.

ඒ වගේම ගැළවෙන්න මගක් තියෙනවා. කිසිවෙකුගේ බලයකට, අණසකට යටත් වෙලා කිසිම ජාතියකින් තමන්ට වෙන් වෙන්න බැරි විදිහට කවුරුවත් බැඳල තියල නෑ. හේතුව ඇසුරු කිරීම තමා විසින් කළ දෙයක්. එතකොට තමන් විදිහට තිබුණෙ හේතු ඵල ක්‍රියාවලියක්. ඒ හේතුඵල ක්‍රියාවලිය අවිද්‍යා, තණ්හා, උපාදාන නිසාම ක්‍රියාත්මක වුණා. එයින් ක්‍රියා ඵලය තමන් විදිහට හෙවත් ප්‍රවෘත්ති ජාති විදිහට පහළ වෙලා තියෙනවා.

අවිද්‍යා, තණ්හා, උපාදාන නිරෝධ කරන මග බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා. ඒ සත් ලෝකෝත්තර මාර්ගය කිසිම ශ් ෂ්ඨ උතුමෙකුගේ නිෂ්පාදනයක් නෙවෙයි. සිද්ධ කරල තියෙන්නෙ, යටපත් වෙලා අවිද් මානව තිබිච්ච දෙයක් මතු කරල විද් මාන කිරීම පමණයි. මිදෙන්න රුකුල් දෙන මහා ශක්තියත් මතු කරල තියෙනවා. ඒ ශක්තිය උපයෝගී කර ගනිමින් ආර්ය මග/ආර්ය ජාති දැනගෙන ඒ මග, ඒ ජාති ඇසුරෙන් දුක් කෙළවර කරන අරිහත් ඵලය නමැති අන්තිම ජාතිය කරා යන මග පටිච්ච සමුප්පන්නව යා යුතුයි. සූවිසි ගුණ තුළින් අනුගමනය කළ යුතු ඒ මාර්ගය වටහා ගත්තම, ඒ සාසනික වූ නාමරූප ස්පර්ශය සුදුසු පරිදි ලැබෙනවා. ඒ අනුසාරයෙන් පටිච්ච සමුප්පන්නව ආර්ය ජාති පෙළ පූර්ව භාග ප්‍රතිපදා වශයෙනුත්, ඒකායන මාර්ග වශයෙනුත්, ඵල වශයෙනුත් පහළ වෙනවා. මේ විස්තරය පෙන්වා දුන්නෙ චතුර් ආරක්ෂා පූර්ව භාග ප්‍රතිපදා සිද්ධවෙන ආකාරය පෙන්වන්න.

මේ විදිහට බුදු ගුණ මෙනෙහි කරන කොට තමන්ට වැටහෙන කොටස අනන්ත බුදු ගුණයේ අංශුමාත්‍රයක් බව වැටහෙනවා. එතකොට අසමසම වූ ලොව්තුරා බුදුන් වහන්සේලාගේ ස්වභාවය වැටහෙමින්, බුදු ගුණ අනන්ත බව වැටහෙමින්, අනන්ත සසරේ පටන් ලෞකිකත්වයට ඇදෙමින් තිබිච්ච තණ්හා උපාදාන මෙල්ල වෙනවා. බුදු සරණ ලැබිල සැනසුමට, ඒකායන මාර්ගයට සුදුසු ප්‍රතිපදාව අනුගමනයට සුදුසු වූ ජාතියක පිහිටි බව වැටහෙනවා. දහම් ගුණ, සඟ ගුණ සිහි කිරීමත් මේ විදිහටමයි. පිළිසරණත් ඒ විදිහටම ලැබෙනවා. මේ තුන් පිළිසරණ නැතිව අනන්ත සසරේ පටන් ආ තණ්හා උපාදාන මැඩ පවත්වන්න බෑ. තමන් නොදැනුවත්වම රැවටිලා කාම, රූප, අරූප භවයන්වල ස්වභාවයන් ස්පර්ශ කරල ඒවායේ තණ්හා උපාදානයෙන් බැඳිල නිවන කියල රැවටෙනවා. හතරමං හංදියක ඉන්න කෙනෙකුට හතර දිහාවට පාරවල් හතරක් පේනවා. මංසංධිය
තමයි මධ් ය. පාර තෝරා ගන්න ඕන එතැනදි. මේ විදිහට තමයි උපමා තෝරා ගන්න ඕන. එක මගක් නිවනට. එකක් කාම ලෝකයට. එකක් රූප ලෝකයට. අනෙක අරූප ලෝකයට.

යම් ලෝකයකට යන පාරක් ගන්නව නම්, ඒ පාර ඒ ලොවට මිසක් වෙන ලෝකයකට නෙවෙයි. වෙන ලෝකයකට යන්න නම් මොහොතකින් හෝ සිවු මංසලට ආපසු ඇවිත් හැරිල සුදුසු පාරේ යා යුතුයි. එහෙම හැරෙන්නෙ නැතිව, එන්නෙ නැතිව, කිසි විටෙකත් අනික් ලෝකයකටත්, නිවනටත් යන්න බෑ. බුදුන් වහන්සේ මහා බ්‍රහ්මයාට ධර්ම දේශනා කළත්, ආපසු හැරෙන්න බැරි වෙච්ච නිසා තවමත් බඹ ලොව තණ්හා, උපාදාන, භව, ජාති පහළ කරමින් ඉන්නවා.

ඒ කාලෙ රූප ලෝක සහ අරූප ලෝක මාර්ගවල ගිය යෝගීන් බුදුන් වහන්සේට හෝ නිවන් මගට හෝ සම්බන්ධ නොවී, නිවන් මගට හැරෙන්නෙ නැතිව, උන්වහන්සේ ආත්මය වනසන භයානක කෙනෙක් විදිහටත් ප්‍රකාශ කළා. අන් මාර්ග ඇසුරෙන් සිදුවන තණ්හා උපාදාන කොච්චර රැවටීම් සහගතද, මුලා සහගතද කියල මෙයින් පැහැදිලි වෙනවා. සිල්වත් වෙච්ච පළියට, ධ්‍යානලාභී වෙච්ච පළියට තණ්හා උපාදාන මැඩ පවත්වන්න බෑ, අවිද්‍යාව, අන්ධ බව නැති කරන්න බෑ. සෝතාපන්න නම් වූ ඇස් ඇති ජාතියට පත් නොවුණොත්, දේශකයාණන් වහන්සේලා කොච්චර දහම් නැණ පහන් දැල්වුවත් අන්ධ නිසා පේන්නෙ නෑ. අත ගාල ලබපු ස්පර්ශයකටම මුලා වෙලා රැවටෙනව මිසක්, ඇස් නැත්තෙක් කවදා නම් රූප සටහන් දකින්නද? ඇස් පහළ කරගත්ත සියල්ලෝම යම් දිනක බුදු ගුණ ගරු කළ අයමයි.

අපදාන පාලියේ එන ථේරාපදාන මීට සාක්ෂි දරනවා. ලොව්තුරා බුදු වෙන්නත් බුද්ධ ප්‍රසාදය මුල් විය යුතුයි. මේ බුදු ගුණයේ අංශු මාත්‍ර හෝ ප්‍රසාදයක් පූර්ව භාග ප්‍රතිපදාවේ මුළටම පහළ වෙන දිනයක් ඇත්ද, ඒ අවස්ථාව මේ භවයට වසර කල්ප ගණනකට ඈත සිද්ධ වෙච්ච දෙයක්. දහම් ඇස පහළ වෙන්නෙ මේ විදිහට කල්ප ගණනක් ගිය මූලික ගුණයේ වැඩුණ අයට. ඒ පූර්ව භාග ප්‍රතිපදාවේ කල්ප ගණනකට පෙර මුල් වූ තෙරුවන් කෙරෙහි ප්‍රසාද අවස්ථාත් සත්වයෙකුට ලබන්න හේතු වාසනා තිබිය යුතුයි. ඒ හේතු වාසනාවටත් ඈත අතීත වූ මුලක් තියෙනවා. ඒ තමයි ආර්ය ගුණයට ළඟම තියෙන ලෞකිකත්වයේ මව්පියන්ට ගරු කරල ලබන ගුණ පැහැදීම.

මෙහෙම කිව්වම අධෛර්යමත් නොවිය යුතුයි. බුදු, දම්, සඟ ගුණ අහන්න, දර්ශනය කරන්න, සිත්වල පවත් වන්න ඔබට යම් ආසාවක් තියෙනවද, ඒ ගුණය කෙරෙහි සිත් බැඳිල එබඳු ගුණවතුන් ඇසුරක් තියෙනවද, ඔබ මීට කල්ප ගණනක පටන් පූර්ව භාග ප්‍රතිපදාවක ආරම්භය තියෙන වටිනා පින්වතෙක් බව වටහා ගන්න ඕන. තෙරුවන් කෙරෙහි පැහැදෙන, ගුණ කියන, ගුණයේ බැහැගෙන ඉන්න ඔබේ නිවන, දහම් ඇස ඒ මොහොතේ පහළ වෙන්න තරම් අත ළඟයි. මේ මග වඩපු නැති, සසර ඒ වාසනාව නොලබපු කෙනෙකුට තෙරුවන් ගුණය කොච්චර විද් මාන වුනත් අංශුමාත්‍ර ප්‍රසාදයක් පහළ වෙන්නෙ නෑ. එබඳු අය කොහොමටවත් ඒ තත්වයේ ඉන්න තාක් කල් ගුණ ගරුක වෙන්නෙත් නෑ.

ඒ නිසා එබඳු අය දැක්කත්, අහන්න ලැබුණත් ඒ් ගැන කම්පා නොවිය යුතුයි. අවමන් නොකළ යුතුයි. මුණින් පෙරලෙන්නවත් බැරි දරුවෙක් දැකල, මොහුට දුවන්න බැරි ඇයි කියල අහනව නම්, හිතනව නම්, එහෙම අහන හිතන තමනුත් ඉන්නෙ මහ මුලාවක බව දැනගන්න ඕන. මේ තමයි උපේක්ෂා විය යුතු තැන්. ඒ නිසා සාසනික වූ කරුණා මාර්ගයෙන් කවදහරි යහ මගට පත්වේවා කියල ඒ අයටත් ආශිර්වාද පැතිරවිය යුතුයි. ඒක තෙරුවන් ගුණ දරන උතුමන්ගෙ සිරිතක්.

මේ ගුණ තුළට ඇතුල් වන උතුමන්ට ඒ නම්වලින් ආමන්ත්‍රණය කිරීමත් සිද්ධ කරනවා. බුදු ගුණ කියන කොට බුදුන් වහන්සේට පමණක් අයිති ගුණ කියලත්, දහම් ගුණ ධර්ම රත්නයට පමණක් අයිති ගුණ කියලත්, සඟ ගුණ සංඝ රත්නයට පමණක් හිමි ගුණ කියලත් සමහර අය හිතනවා. නමුත් ඒක එහෙම නෙවෙයි. මේ අනන්ත වූ ගුණස්කන්ධ මාලාවන් ඒ ඒ මට්ටමින් ආර්ය පුද්ගලයන්ටත් තියෙනවා. ශේෂ මාත්‍රව අනුමාන වශයෙන් පෘතජ්ජන ගෝත්‍රය ඉක්මෙව්වෙ නැති බෞද්ධයින්ටත් තියෙනවා. (දීඝ නිකාය – සීලක්‍ඛන්‍ධ වග්ගය – බ්‍රහ්මජාල සූත්‍රය) එහෙම නැතිව බුදු ගුණ නවය බුදුන් වහන්සේට විතරක් නම් තියෙන්නෙ, ඒ ගුණ නාමයන්ගෙන් අරිහතුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන්න බෑ. ඒ වගේම බුදුන් වහන්සේත් අරිහතුන් වහන්සේලාගේ ගුණයන්ගෙන් පූර්ණයි, නව මහා සඟ ගුණයන්ගෙන් පූර්ණයි. ධජග්ග සූත්‍රයෙදි සාසන අනුගාමික පින්වතුන්ට බියක් තැති ගැන්මක්, ලොමු ඩැහැ ගැන්මක් ඇති වුනොත්, බුදු ගුණ, දම් ගුණ, සඟ ගුණ සිහි කරන්න කියලත්, එතකොට සියලු භය තැති ගැනුම්, ලොමු ඩැහැ ගැනීම් දුරුවෙන බවත් පෙන්වල, ඊට හේතුව තථාගතයන් වහන්සේ කිසි විටක කිසිවකට බිය තැති ගැනුම්, පළා යාම් නැති නිසා බවත් දේශනා කරල තියෙනවා. එයින් හැ ඟෙන්නෙ , සඟ ගුණ නමුත් තථාගත ගුණම බව. ඒ නිසා තථාගතයන් වහන්සේ සූවිසි තුනුරුවන් ගුණයෙන්ම පූර්ණයි.

කෙබඳු මට්ටමකින් හෝ ගුණයක් තුළ ඇති අනන්ත ගුණ මාලාවන්ගෙන් යම් මට්ටමක් හෙවත් කොටසක් දරනවනම්, ඒ පුද්ගලයා ගුණ දරන උතුමන්ගේ සංඛ්‍යාවට වැටෙන බව බුදුන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ, සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න කියන මේ ගුණ සංඝයාට පවතින බවත්, සංඝත්වයේ ගුණ බවත්, ඒ ගුණ දරන උතුමන් පුද්ගල වශයෙන් අට කොටසකුත්, මාර්ග ඵල වශයෙන් යුගල ලෙස ගත්තොත් හතර කොටසක් ලෙසත් දේශනා කරමින්. නමුත් සෝතාපන්න පුද්ගලයට වඩා මේ ගුණ සකෘදාගාමි පුද්ගලයා ළඟ වැඩියි. අනාගාමි උතුමා ළඟ ඊටත් වැඩියි. අරිහතුන් වහන්සේ ළඟ ඊටත් වැඩියි. බුදුන් වහන්සේ ළඟ පූර්ණයි. නමුත් ප්‍රත් ක්ෂ ගුණ ටිකක් තිබුණත් සංඝ නමින් අමතනවා. මේ තමයි පරමාර්ථ සංඝත්වය, නියමාකාර සංඝත්වය. ඒකට ගිහි පැවිදි භේදයක් හෝ ස්ත්‍රී පුරුෂ භේදයක් හෝ නෑ.

අරිහතුන් වහන්සේලා ළඟ බුදු ගුණවල අරහං ගුණයත් තියෙනවා. ඒ නිසා අරහං කියල අරිහතුන් වහන්සේටත් ආමන්ත්‍රණය කරනවා. ඒ බව මජ්ජිම නිකාය (1) 650 පිටුවේ එන මහා අස්සපුර සූත්‍රයේ 43 වන ගාථාවේ මේ විදිහට සඳහන් වෙනවා. “කථංච භික්ඛවේ භික්ඛු අරහං හෝති ආරකාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලේසිකා පෝනෝභවිකා සදරා දුක්ඛ විපාකා ආයතිං ජාති ජරා මරණීයා ඒවං ඛෝ භික්ඛවේ භික්ඛු අරහං හෝති”

ඒ වගේම, බුදු ගුණයක් වූ සුගත ගුණයත් අරිහතුන් වහන්සේලාට තියෙනවා. ඒ නිසා ඒ නමිනුත් අමතනවා. ඒ බව අංගුත්තර නිකායේ (1) ආනන්ද වර්ගයේ පෙන්වා තියෙනවා. “ස්වාමීනී, ඔබ වහන්සේලාගේ රාගය, ද්වේශය, මෝහය ප්‍රහීණ විය. මතු නූපදින ස්වභාව ඇත්තාහුය. ඔබ වහන්සේලා ලෝකයෙහි සුගත වන්නාහුය.”

මේ විදිහට අරිහතුන් වහන්සේලා ළඟ බුදු, දම්, සඟ ගුණ පිහිටල තියෙනවා. ඊට හේතුව උන්වහන්සේලා ආර්ය ගුණය තුළින් ඒ ගුණ මාලාවන්වල එල්බෙමින් ගිහින් ඒවා දරමින් සූවිසි මහා ගුණ මාලාවන්හි එල්බෙමින් ගිහින් අරිහත් ඵලය ලබල තියෙන නිසා. ගුණ මෙනෙහි කරමින් ඒ ගුණ අනන්ත බව දකිමින්, සයුරෙන් ගත්ත ජල දෝතක් වගේ ගුණ දරාගෙන, නිවන් ගමනට සෑහෙන ගුණ මාලා දරාගෙන, ගුණවතෙක් වෙමින් අරිහතුන් වහන්සේ කියන ආර්ය ශ්‍රේෂ්ඨ ජාතියට පත්වෙන කල් සූවිසි ගුණ තුළ ගමන් කරල, බිය තැති ගැනුම්, ලොමු ඩැහැ ගැන්වීම් නැතිව ආර්ය මාර්ගය පූර්ණ කරනවා. පූර්ණ කරන කල් සරණාගමනයත්, අරිහත් ඵලයෙන් පූර්ණ වුනාම සරණගත බවටත් පත් වෙනවා.

ඒ කියන්නෙ, නිවන් දැකීම පූර්ණ කරගන්න කල් මේ ගුණ ආධාර කරගෙන පිළිසරණ කරගෙන ගිහින් අවසානයේදි සරණ නතර කරනවා. සැරිසැරීම නතර කරනවා. සරණගත වුනයි කියන්නෙ අන්තිමට ඒ අවශ් කරන්නා වූ පූර්ණ තත්ත්වයට පත් වුනා, නිවනට පත් වුනා කියන එක.

මේ විදිහට තිසරණය වටහා ගෙන බුද්ධානුස්සතිය දරාගත්තම ඒක මහත් වූ ආරක්ෂාවක් වෙනවා.

පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේ විසින් යළි මතු කළ සැඟවුනු දහම් කරුණු ඇසුරෙන් සකස් කළේ:

නීතිඥ චන්දන සිරිවර්ධන

scroll to top